බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයාගේ ඝාතනය-තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති භාරවෙයි

December 26, 2011   09:23 pm

තංගල්ල, වෑමැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවකු අද සවස තංගල්ල පොලීසියට භාරවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්දු පුෂ්ප නමැති අය සිය මිතුරකු සමග පොලීසියට බාරවී තිබේ.

පොලීසියට භාර වූ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(25) පොලිසියට බාර වූ අතර ඔවුන් තංගල්ල සහ පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

පසුගිය 24 වැනිදා රාත්‍රීයේ හෝටලයේ පැවති සාදයක් අතරතුරදී කිසියම් පිරිසක් විසින් විදේශීය ජාතිකයාට පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරනු ලැබීය.

මියගිය පුද්ගලයාගේ සිරුරේ කැපුම් තුවාල සහ වෙඩිවැදීමෙන් සිදුවූ තුවාල දක්නට ලැබුණු බව වාර්තා විය.

කෙසේ වුව ද ඝාතනයට හේතුව තියුණු ආයුධයකින් කැපුම් තුවාල සිදුවීම බව මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර ඇත.

සාදය අතරතුරදී විදේශීය ජාතිකයාගේ බිරිඳට හිරිහැර කිරීම හේතුවෙන් ගැටුම හටගෙන තිබේ.

පසුව ඇයට ද පහරදී ඇති අතර මේ වන විට ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.