රුසියානු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් 4දෙනාගේ පවුල්වල සාමාජිකයන්වත් රැගෙන එයි

රුසියානු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් 4දෙනාගේ පවුල්වල සාමාජිකයන්වත් රැගෙන එයි

March 27, 2024   05:09 pm

රුසියාවේ මොස්කව් නුවරට ආසන්න ක්‍රෝකස් නගර ශාලා රඟහලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ 08 වැනි සැකකරු ද ඊයේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ප්‍රධාන සැකකරුවන් 04 දෙනාට නවාතැන් පහසුකම් ලබාදීම සම්බන්ධයෙනි.

දශක දෙකකින් රුසියාවට එල්ල වූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන මේ ප්‍රහාරයේදී පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 182 දෙනෙකු පමණ තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනාධිපති ව්ලැදිමීර් පුටින් පස්වැනි වරටත් රුසියාවේ බලය තහවුරු කරගැනීමත් සමග එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරය, ඔහුට එල්ල වූ ප්‍රබලතම අභියෝගයක් ලෙසත් සැලකෙයි. 

ප්‍රහාරය ISIS සන්ධානය විසින් එල්ල කළ බවට සාක්ෂි ඇතැයි අමෙරිකාව සහ ප්‍රංශය ප්‍රකාශ කර තිබුණි. 

ජනපති පුටින් මෙය ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයක් බව පිළිගත්තද, ඔවුන් මෙහෙයවූයේ කවුරුන්ද යන්න ගැටලුකාරී බව කියා සිටියේය. 

ප්‍රහාරය සම්බන්ධයෙන් ඍජුවම සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු ඒ පිළිබඳ පාපොච්චාරණය කළ බව රුසියානු බලධාරීන් සඳහන් කරයි. 

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බරපතළ වධ බන්ධනවලට ලක්වී සිටි බව පෙනී ගිය කරුණකි.

එහෙත් ඊයේ අධිකරණයට රැගෙන ආ 8 වැනි සැකකරුගේ කායික තුවාල කිසිවක් දක්නට ලැබී නොමැත. 

රුසියානු මානව හිමිකම් කොමසාරිස්වරයා මේ පිළිබඳ සිය මතය පළකරමින් සඳහන් කර ඇත්තේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට නීතියට අනුව කටයුතු කළ යුතු බවය.

ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රහාරයට සම්බන්ධ බවට සැලකෙන සැකකරු මධ්‍යම ආසියානු කිර්ගිස්ථාන ජනරජයේ උපත ලැබූ අයෙකි. 

මේ අතර අත්අඩංගුවට ගත් තජිකිස්ථාන සැකකරුවන්ගේ පවුල්වලින් තොරතුරු ලබාගැනීම සඳහා රුසියානු විමර්ශකයන් පිරිසක් තජිකිස්ථානය වෙත ගොස් තිබේ. 

ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ තජිකිස්ථාන සැකකරුවන් හතර දෙනාගේ පවුල්වල සාමාජිකයන් රුසියානු විමර්ශකයන් හමුවට පමුණුවීම සඳහා ඔවුන් පදිංචිව සිටින ග්‍රාමීය ප්‍රදේශවල සිට ඩුෂන්බේ අගනුවර වෙත රැගෙනවිත් තිබේ.