කලා භවන යළි විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

කලා භවන යළි විවෘත කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

March 27, 2024   04:05 pm

වසර 13ක් තිස්සේ නිම කිරීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ ජනාධිපතිවරයා අද (27) නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට රජය සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.

2011 වසරේ ඉදිකිරීම් ඇරඹුණ ද‍, තවමත් රඟහලෙහි කාර්යයන් අවසන් කරලීමට හැකි වී නොමැත. ජාතික කලා භවනෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ද ඇණහිට තිබේ. 

ලුම්බිණි රඟහල සහ නව රඟහල යළිත් නාට්‍ය කලාව වෙනුවෙන් පණ ගැන්වීමේ හැකියාව පිළබඳව සොයා බලන ලෙස දැන්වූ ජනාධිපතිවරයා කොළඹ සුදර්ශී පරිශ්‍රයේ නාට්‍ය රඟහලක් ඉදිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

නෙළුම් පොකුණ‍, ⁣කලාභවන‍, ජෝන් ද සිල්වා සමරු රඟහල‍‍, කෞතුකාගාරය‍ සහ ඒ ආශ්‍රිත පරිශ්‍රයන් එක් කර ගනිමින් ජාතික සංස්කෘතික කලාපයක් නිර්මාණය කරලීම වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් සකස් කරන ලෙස සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම්වරයාට දැන්වීය. 

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර පද්ධතිය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කාර්යය සඳහා උපදේශකත්වය ලබාගත හැකි සුදුසු රටක් නම් කරන ලෙස ද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.