යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

May 8, 2024   08:20 am

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ ඒකාබද්ව මෙම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවය.

"හොර රැකියා ඒජන්තවරුන් එක්ක එකතුවෙලා විශ්‍රාම ගිහින් ඉන්න රණවිරුවන්ව මේ රුසියානු - යුක්‍රේන යුද පෙරමුණට යවන්නට මිනිස් ජාවාරමක් කරනවා. මෙතැනදි බොරු පොරොන්දු රැසක් දීලා තියෙනවා රුසියානු හමුදාවට බන්ඳනවා කියලා. යුක්‍රේන යුද්ධයට බඳවනවා පීටර්ස් බර්ග් වැනි ප්‍රසිද්ධ තැන්වලින් ඉඩම් ලබාදෙනවා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පවුල්වල අයට රුසියාවේ පුරවැසිභාවය, රු ලක්ෂ 10කට අධික මුදලක් ලබාදෙන බවත් පවසා තිබෙනවා. නමුත් ඒ අයට මුදල් කිසිම දෙයක් ලබාදීලා නෑ. කිසිම වැටුපක් ගෙවලා නෑ. ඒ වගේම මිය ගියොත් හරි බරපතළ තුවාල ලැබුවොත් කිසිම වන්දියක් ගෙවලත් නෑ. මෙවට රැවටිලා අපේ රණවිරුවන් සෑහෙන ප්‍රමාණයක් මේ වෙද්දිත් යුද පෙරමුණට ගිහින් කොටසක් මියගිහින්. කොටසක් තුවාල ලබලා තියෙනවා. ඒවා ගැන කවුරුදත් දන්නේ නෑ. අපි විශාල උත්සාහයක් දරනවා ඒ අය කවුද කියලා දැනගන්න. මොකද එයාලා යුද්ධයට බැඳිලා තියෙන්නේ නීතියානුකූල හමුදාවලට නෙමෙයි. කුලී හමුදාවන්ට තමා ඔවුන්ව බඳවාගෙන තියෙන්නේ."

මෙලෙස විදේශ ගත වී ඇති පුද්ගලයින් සෙවීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින්ද විමර්ශන ආරම්භ කර ඇති බව  විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.