ප්‍රභූ ජීවිත රැසක් මරුකටින් බේරූ අභීත පොලිස් කත

ප්‍රභූ ජීවිත රැසක් මරුකටින් බේරූ අභීත පොලිස් කත

March 8, 2024   08:48 pm

තීක්ෂණ නුවණින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් මව්බිමේ ගෞරවය ආරක්ෂා කළ අභීත පොලිස් කතක් පිළිබඳව අද දෙරණට වාර්තා වන්නේ අදට යෙදී ඇති කාන්තා දිනයේ වැදගත්කම තව තවත් තීව්‍ර කරමිනි.

ඇය හොරණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, සුමනලතා ලියනගේ මහත්මියයි.

පොලිස් සේවයට තිබූ දැඩි ඇල්ම සහ ආශාව නිසාම ස්වේච්ඡා ගුරු සේවය අතහැර දැමූ සුමනලතා ලියනගේ මහත්මිය පොලිස් සේවයට එක්වන්නේ 1992 වසරේදීය.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයෙන් මූලික පුහුණුවීම් අවසන් කළ ඇය පළමුවෙන්ම සේවයට යන්නේ, වවුනියාව යුද මෙහෙයුම් කලාපයට.

එවක කොටි ත්‍රස්තවාදී ක්‍රියා උච්චතම කාලවකවානුවක් වුවත් පොලිස් සේවයට ඇති තදබල ආදරය නිසාම ඇයය එවැනි පෙදෙසක සේවය කිරීමට කිසිදු බියක් දැනුනේ නැහැ.

සුමනලතා ලියනගේ මහත්මිය,

"ගියාම අපිට මුහුණදෙන්න තිබුණේ වෙඩි සද්ද විතරයි. අපිත් එක්ක අද රාජකාරිය කරන කෙනා හෙට මැරිලා."

1996 දෙසැම්බර් මස 07 වැනිදා ඇගේ ජීවිතයට අමතක නොවන දිනයක්.

එදින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රභූන් පිරිසක් රැගෙන ඉහළට නැගුණු ගුවන් යානයක් වැලිඔය බලා යන්නේ, අත්‍යවශ්‍ය ආරක්ෂක රැස්වීමක් සඳහාය.

එහි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් රොහාන් දළුවත්ත සහ පොලිස්පති ඩබ්ලිව් බී රාජගුරු ඇතුළු නිලධාරීන් 11 දෙනෙකු ගමන් කරමින් සිටියහ.

රැස්වීම අවසානයේ පිරිස වව්නියාවේ ආරක්ෂාව පිළිබඳ නිරීක්ෂණයකට එක්වන අතර අයහපත් මීදුම් තත්ත්වය නිසා ගුවන් නියමුවාට ගමනාන්තය සොයා ගැනීමට අපහසු වුණි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉන්ධන අවසන් වීමත් සමග යානය වවුනියාවෙන් එපිට එල්ටීටීඊ බලප්‍රදේශයකට ගොඩබැස්සවීමට සිදුවීමය.

යානය අතුරුදන් වීමත් රට පුරා මහත් කලබලයක් ඇති වූ එම අවස්ථාවේ වවුනියාව පොලිස් මෙහෙයුම් මැදිරියේ රාජකාරි කරමින් සිටියේ සුමනලතා ලියනගේ මහත්මියයි.

"එදා රෑ 10ට විතර වව්නියාව අමතන්න, වව්නියාව අමතන්න කියලා කතා කළා. ඒක මට අදාළ නැති නිසා එච්චර ගණන් ගත්තේ නෑ. ඒක නවතින්නේම නෑ. ඒ නිසා හිතුනා මේක අමතන්න ඕනේ කියලා. එක්කෙනෙක් කතා කරලා කිව්වා මම රාජගුරු කතා කරන්නේ කියලා. පොලිස්පතිතුමාද අහන්නත් බෑ, සර් කියන්නත් බෑ මොකක් හරි කිව්වා නම් ඒ පණිවිඩේ අනිවාර්යයෙන්ම කොටින්ට යනවා. එක සැරේට ම ඇහුවා ඔයා WB ද කියලා. එයා ඔව් කිව්වා. මේ පොලිස්පති තමයි කියන එක මට දැනුනා. වෙන කාගෙන්වත් අහලා වැඩක් නෑ ගුවන් හමුදාවෙන් අහන්න ඕනේ කියලා මම ටක් ගාලා ඒ අංකයට ගැහුවහම එහෙන් කතා කළා. මොනවා හරි කලබලයක්ද ඇහුවා. එයාලා කිව්වා චොපර් එකක් මිසින් වෙලා තියෙනවා කියලා. ඔයා ලයින් එක තියන්න එපා කිව්වා. මම ටක් ගාලා රෙඩ් ඇලර්ට් කළා. අපේ කට්ටියක් ඉස්සරහට එන්නේ කියලා ඒ අයව දැනුවත් කළා. එතකොට ඩිෆෙන්ස් එක වෙඩි තියන්නේ නෑ ඒ අයට..."

ඇය මේ සිදුවීමට මුහුණදෙන විට ඉතිරිව තිබුණේ සිය දරුවා ලැබීමට මාස තුනක් පමණය.

එල්ල වූ පීඩනය හමුවේ කොතෙකුත් ශරීරික අපහසුතා දැනුණද ඇගේ චිත්ත ධෛර්ය ඒ සියල්ලටම වඩා බලවත් වුණි.

"දවල් 1 විතර ළං වුණා. බැරිම තැන මම කතා කරලා කිව්වා WB ඔබගේ ඔය නිල ඇඳුමේ ඉහළ කොටස ගලවලා උඩට ඔසවන්න කිව්වා. කිව්වා ගුවන් හමුදාවට පොලිස් නිල ඇඳුමක් උඩට ඔසවලා තියෙනවා අන්න එතැන තමා තැන කියලා. චොපර් එකෙන් දැකලා එයාලා ලෑන්ඩ් කරන්නද ඇහුවා. ඒ කරලා සර්ව ගත්තා. විනාඩි 10ක් ඇතුළත මට පණිවිඩයක් ආවා තියෙන වාහනයක බ්‍රිගේඩ් එකට එන්න කියලා. ඒ යද්දි රත්වත්ත සර්, පොලිස්පති රාජගුරු සර්, දළුවත්ත සර් හිටියා ඒ මොහොතේම තනතුරු දෙකකින් උසස්වීමක් දුන්නා..."

මෙම අභීත වීර කාන්තාව අද වනවිට උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස උසස්වීම් ලබා හොරණ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ  ස්ථානාධිපතිනිය ලෙස සේවය කරයි.
 
කළුතර අඟුරුවාතොට පදිංචි ඇය දියණියන් දෙදෙනෙකුගේ මවක්.

වසර විසි හතකට පෙර ඇය සිදුකළ ඒ අභීත ක්‍රියාව මේ මව්බිමේ කිසිදා අමතක කළ නොහැකි දෙයකි.

එවන් අභීත ක්‍රියා තුළින් ඉතිහාසය සුවඳ වත් කළ සුමනලතා ලියනගේ වැනි කාන්තාවන් අප රටට වාසනාවකි.