මස්සිනාව ඝාතනය කළ අයියා මලෝ පෝරකය ට

මස්සිනාව ඝාතනය කළ අයියා මලෝ පෝරකය ට

March 7, 2024   04:44 pm

වසර විස්සකට ඉහතදී ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ සහෝදරයින් දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටි ගාල්ලආරච්චිගේ පියතිලක (අවු. 55) සහ ගැටමාන්න, කඳුගොඩ, බෝගහවත්තේ පදිංචි ගාල්ලආරච්චිගේ රුවන් තරංග (අවු. 38) නමැති එකම පවුලේ සහෝදරයින් දෙදෙනකුටය.

2004 වසරේ ඔක්තෝම්බර් 31 වනදා බෙලිඅත්ත, ගැටමාන්න දකුණ, කඳුගොඩ ප්‍රදේශයේ පදිංචි විජේසේකර පතිරණගේ සරත් නමැති පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇති අතර එහි ප්‍රධාන සැකකරු ලෙස ගාල්ලආරච්චිගේ පියතිලක නමැත්තා බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. 

වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා රෝහලට රැගෙන යාමට ඉඩ නොදී වැළැක්වීමේ චෝදනා මත රුවන් තරංග නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබිණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා පියතිලක නමැත්තාගේ බිරියගේ සොහොයුරෙකු වේ.

බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබිණි. 

එම නඩුව කැඳවූ අවස්ථාවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වරදකරුවන් වූ දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කෙරිණි.