රිය අනතුරු තුනකින් තරුණ ජීවිත 3ක් අහිමි වෙයි

රිය අනතුරු තුනකින් තරුණ ජීවිත 3ක් අහිමි වෙයි

June 22, 2024   11:41 am

කඩුගන්නාව සහ පිළිමතලාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරුවේ දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මහනුවර සිට පොල්ගහවෙල දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.

මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේදී සිදුකිරීමට නියමිතව ඇති අතර කඩුගන්නාව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.  

මේ අතර ඊයේ දහවල් නාඋල ඇලහැර මොරගහකන්ද මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් පැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරු‍වෙකු  තුවාල ලබා කෝන්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති බවය.

එහිදී බරපතළ තුවාල ලබා සිටි පසුපැදිකරු මියගොස් තිබේ‍.

එමෙන්ම ඊයේ සිදු වූ තවත් යතුරුපැදි අනතුරකින් අවුරුදු 16ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ‍.

ගලේවල පන්සියගම මාර්ගයේ අළුත්වැව හන්දියේ දී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි කැබ් රථයේ ගැටී ඉදිරියට ගොස් මාර්ගයේ අසල තිබූ පොල් ගසක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් බරපතළ තුවාල ගැබූ පැදිකරු සහ පසුපැදිකරු රෝහල් ගත කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබේ.