සෞදියේ දුක් විඳින ලක් කතුන්

සෞදියේ දුක් විඳින ලක් කතුන්

March 2, 2024   01:34 pm

ගෘහ සේවය සඳහා සෞදි අරාබියට ගිය තමන් රියාද්හි නිවාසයක රඳවා විවිධ වධ හිංසාවලට ලක්කරන බව මෙරට කාන්තාවන් සිව් දෙනෙක් පවසති. 

ඒ, දුරකථනයෙන් පටිගත කළ වීඩියෝ දර්ශන ඔස්සේ ඔවුන් මුහුණ දෙන සිය අමිහිරි අත්දැකීම් පිළිබඳ විස්තර කරමිනි.

කොළඹ, බම්බලපිටිය සහ කුරුණෑගල ප්‍රදේශවල පිහිටි විදේශ රැකියා ආයතනවලින් මෙරට කාන්තාවන් සිව් දෙනෙකු සෞදි අරාබියේ ගෘහ සේවය බලා පිටත් ව ගොස් තිබුණේ 2023 වසරේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලදීය.

ඔවුන් කළුතර, පානදුර, කොළඹ සහ කුරුණෑගල පදිංචිකාරිනියන් වේ.

ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දහසක් බලාපොරොත්තු සමග විදේශගත වූ එම කාන්තාවන් මේ වනවිට මුහුණ දෙමින් සිටින්නේ ඉතා අමිහිරි අත්දැකීමකට ය.

සේවය කළ නිවාසවලින් නිසි ලෙස ආහාර පාන සහ වැටුප් නොලැබී විවිධ වධ හිංසාවලට ලක්වීමට ඔවුන්ට සිදු වී තිබේ.

ඒ අනුව රැකියා නියෝජිතායතය කටයුතු කර ඇත්තේ ඔවුන්ව සෞදි අරාබියේ රියාද්හි මහල් නිවාසයක රඳවා තැබීමටය.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙසට ය.

එමෙන්ම තමන් මෙන්ම වෙනත් රටවලින් ගෙනැවිත් දැමූ ගෘහ සේවිකාවන් බොහෝමයක් ද එම මහල් නිවාසයේ රැඳී සිටින අතර ඔවුන්ද ඉන් මුදාගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.