දරුවන් බේරාගන්න පවුරෙන් ලොකු වැඩක්

දරුවන් බේරාගන්න පවුරෙන් ලොකු වැඩක්

February 6, 2024   04:46 pm

පාසල් අවට මත්ද්‍රව්‍ය සංසරණයක් ඇති බවට හඳුනාගෙන ඇති පාසල් 4,983ක් අතරින් පාසල් 4,876ක් මේ වනවිට සුරක්ෂිත කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව අදාළ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවිකළ බවට සැකපිට පුද්ගලයින් 517 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය සංසරණයක් තිබෙන බවට හදුනාගත් සෑම පාසලක් ආශ්‍රිතවම අදාළ පාසල් ගුරුවරුන්, ශිෂ්‍ය නායක සහ පාසල් අවට ශිෂ්‍ය ප්‍රජාව සහභාගි කරවා ගනිමින් “පවුර” සංසද කමිටු 5,133 ක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පිහිටුවන ලදී.

එම “පවුර”  සංසද කමිටු සාමාජිකයින් විසින් ලබාදුන් වාර්තාවන් අනුව පාසල් 4,876 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය සුලභතාවය පිළිබඳ අවදානම යම්තාක් දුරකට පහව ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එසේම, පාසල් 107 ක් ආශ්‍රිතව මත්ද්‍රව්‍ය අවදානම පවතින බවට “පවුර” සංසදය මගින් වාර්තා කර ඇති අතර, එම පාසල් අවට තවදුරටත් මෙහෙයුම් සිදුකරන ලෙසට අදාළ පාසල් පිහිටා ඇති පොලිස් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වෙත පොලිස්පතිවරයා විසින් මේ වන විටත් උපදෙස් ලබාදී ඇත.

එසේම, පාසල් 434 ක් ආශ්‍රිතව ළමුන් නොමග යැවීමට පොළඹවන ස්ථාන ඇති බවට හදුනාගෙන ඇති අතර, එම පාසල් අවට ඉදිරි කාලය තුළ මෙහෙයුම් සිදුකරන ලෙසටත් අදාල කොට්ඨාස භාර නිළධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

පාසල් ආශ්‍රිතව දරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සදහා “පවුර” සංසදය තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.