පැරෂුට් භටයින්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි

පැරෂුට් භටයින්ගේ සුවදුක් බලන්න යුද හමුදාපති යයි

January 31, 2024   07:17 am

නිදහස් දින පෙරහුරුවක් අතරතුර පැරෂුට් පුහුණුවේ දී සිදුවු අනතුරින් තුවාල ලැබූ හමුදා නිලධාරියාගේ සහ සෙබළාගේ සුවදුක් විමසීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා යුද හමුදා රෝහලට ගොස් තිබේ.

ඔවුන් දෙදෙනාගේ ප්‍රතිකාර තත්ත්වය පිළිබඳව ද මෙහිදී යුද හමුදාපතිවරයා සොයාබලා ඇති අතර, වෛද්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද කටයුතු සංවිධානය කර ඇත.

යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කැපවීම හා කාර්යශූරත්වය පිළිබඳ කෘතඥතාවය පළ කර ඇති යුද හමුදාපතිවරයා තුවාලකරුවන් දෙදෙනාට හැකි උපරිමයෙන් ප්‍රතිකාර ලබාදෙන ලෙස ද පවසා තිබේ.

76 වැනි නිදහස් සමරුවේ පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුවට එක්ව සිටියදී පැරෂුට් භටයන් සිව්දෙනෙකු අනතුරට ලක්ව ඇති හේතුව අනපේක්ෂිත සුළං ප්‍රවාහයක් හේතුවෙන් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂක හා මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා මේ බව පවසයි.

මෙම අනපේක්ෂිත අනතුරට මුහුණදුන් ගුවන් හමුදා භටයන් වන්නේ සැරයන් MDSS වීරියගල්ල සහ සැරයන් RHPK හේමසිංහ දෙදෙනාය.

එහිදි සැරයන් MDSS වීරියගල්ල නිලධාරීයා පැරෂුට් පැනීම් 531ක් ද සැරයන්  RHPK හේමසිංහ නිලධාරියා පැරෂුට් පැනිම් 370ක් සිදුකර ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි. 

මේජර් ධම්මික රත්නපාල සහ මාණ්ඩලික සැරයන් එල්.ආර්.එන්. බණ්ඩාර යන භටයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බළකා සාමාජිකයින්ය.

එහිදි මේජර් ධම්මික රත්නපාල නිලධාරීයා පැරෂුට් පැනීම් 126ක්ද ක සැරයන් එල්.ආර්.එන්. බණ්ඩාර නිලධාරීයා පැරෂුට් පැනිම් 298ක් සිදුකර ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි. 

ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ පැරෂුට් උඩු ගුවනේදී එකිනෙක පැටලී ඔවුන් දෙදෙනා ඇදවැටෙන්නේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ වහල මහත පිහිටි වායුසමීකරණ පද්ධතිය මතටය.

අනතුරට පත් යුද හමුදා සමාජිකයන් අතරින් එක් අයෙකුගේ පැරෂුටය තවත් පැරෂුටයක පැටලී ඇති අතර පොළොවට අඩි 300ක් ඉහළදී ඔහු එම පැටලුම සකස් කරගන්නට සමත්ව ඇතැයි වාර්තාවෙයි.

නමුත් අවාසනාවන්ත ලෙස ඔහු ගාලුමුවදොර පිටියට ඇදවැටී තිබුණි.