චීන ආරක්ෂක ඇමතිව ලොවම සොයයි
සයුරෙන් එතෙර

චීන ආරක්ෂක ඇමතිව ලොවම සොයයි

September 16, 2023   04:24 pm

චීන ආරක්ෂක අමාත්‍යවරයා සති දෙකක කාලයක සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග් ෆූ සති දෙකක කාලයක සිට එලෙස ප්‍රසිද්ධයේ පෙනී නොසිටීම මේ වනවිට දැඩි ආන්දෝලනයකට හේතුවී තිබේ.

ඉහළ අමෙරිකානු බලධාරීන් ද ඔහුගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් චීනයෙන් විමසා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

අමාත්‍ය ලී ෂැන්ග් ෆූ ගෙවුණු සති දෙකක කාලයක් තුළ නිල රැස්වීම් කිහිපයකට සහභාගීවී නොසිටි බවද සඳහන් වෙයි.

ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ අගෝස්තු 29 වනදා අප්‍රිකානු රාජ්‍යයන් සමග පැවති ආරක්ෂණ කවුන්සිලයකදී ය.

මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව දැනුවත් නොවන බව චීන රජයේ ප්‍රකාශක මාවෝ නින්ග් පවසා තිබේ.

අමාත්‍ය ලී විමර්ශනයකට මුහුණ දෙමින් සිටින බව අමෙරිකානු රජයේ මතය විශ්වාස කරන බව බ්‍රිතාන්‍යයේ ෆයිනැන්ෂියල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ඇතැයි CNN පුවත් සේවය ද පවසයි.

මේ ෂී ජින් පින් රජය තුළ අමාත්‍යවරයෙකුගේ අතුරුදන්වීමක් වාර්තා වූ පළමු අවස්ථාව නොවීම ද විශේෂත්වයකි.

ගෙවුණු ජූලි මාසයේදී එරට හිටපු විදෙස් අමාත්‍ය චින් ගන්ග් ද මෙලෙසම අතුරුදන් වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන රජය නව විදෙස් අමාත්‍යවරයෙකු පත් කළේ ඉන් දින කිහිපයකට පසුවය.