නිල වෙබ් අඩවිය හරහා online ගනුදෙනු නෑ -තැපෑල

නිල වෙබ් අඩවිය හරහා online ගනුදෙනු නෑ -තැපෑල

September 11, 2023   08:12 am

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබාගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය දා තොරතුරු අනාවරණය වී තිබුණි.

ඒ පිළිබඳ දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත්තේ එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති අතර වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපියනය ද අවභාවිත කර ඇති බවය.

අදාළ වෙබ් අඩිවිය සබැඳිව පුද්ගලයින් වෙත දුරකථන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමුකර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදුකළ යුතු බවට පවසමින් මෙම වංචාව සිදුකර තිබේ.

කෙසේවුවද මෙම ක්‍රියාව සිදුකරන වංචනිකයන්ට හසු නොවන ලෙස මහජනතාවට දැනුම් දෙන තැපැල් දෙපාර්තමේන්තුව, මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස මහජනතාව වෙත දැනුම් දෙයි.