බගවන්තලාවට හා බදුල්ලට වැසි

බගවන්තලාවට හා බදුල්ලට වැසි

August 11, 2023   06:07 pm

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව ප්‍රදේශයට අද (11) පස්වරුවේ අධික වර්ෂාවක් ඇද හැළී තිබේ.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ, විනාඩි 30ක පමණ කාලයක් වර්ෂාව ඇද හැළුණු බවයි.

බගවන්තලාව ප්‍රදේශයේ පසුගිය දින කිහිපය තුළ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ පානීය ජල ගැටලුවක් ද මතු ව තිබුණු අතර, කෙසෙල්ගමුඔයේ ජල ධාරිතාව ද පහළ බැස තිබිණි.

මේ අතර, බදුල්ල ප්‍රදේශයට ද අද (11) පස්වරුවේ ධාරනිපාත වර්ෂාවක් ඇදහැළුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

කෙසේවෙතත් පසුගිය දිනයන් හි පැවති වියළි කාලගුණ තත්ත්වය, තේ වගාවට සහ එළවළු වගාවට දැඩි බලපැමක් එල්ල කර තිබේ.

වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ 150,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ, දිස්ත්‍රික් 13ක පවුල් 47,000කට අයත් පුද්ගලයන් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි.

දිවයිනේ පිහිටි විශාල ජලාශවල ජල ධාරිතාවෙන් මේ වන විට සියයට 50ක පමණ මට්ටමක් දක්වා පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එහි අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය පවසන්නේ, මධ්‍යම ප්‍රමාණයේ ජලාශ බහුතරයක ද ජල මට්ටම සියයට 02ක මට්ටමක් දක්වා පහත බැස ඇති බවයි.

මේ අතර, කලාවැව ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ තම වගාවන් සඳහා ද ජලය හිඟවීමේ අවදානමකට මුහුණ දී ඇති බවය.

එසේම, උඩවලව ජලාශයෙන් වගාවන් සඳහා ජලය නිකුත් කිරීමට නොහැකි වූ අවස්ථාවේ සමනල වැව ජලාශයෙන් ජලය ලබාදෙන ලෙස කළ ඉල්ලීම මුල් අවස්ථාවේ ප්‍රතික්ෂේප වූ බව ජලපාලක ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලන්ත ධනපාල මහතා ප්‍රකාශ කරයි.

කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේ දී දයාසිරි ජයසේකර සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් කළ විමසීමකට පිළිතුරු දෙමින් නිලන්ත ධනපාල මහතා මේ බව කියා සිටියේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද නිශ්චිත අනාවැකියක් පළකිරීමට අපොහොසත් වීම හේතුවෙන් වගාව සම්බන්ධයෙන් පූර්ව නිගමනයකට එළඹීමට නොහැකි වූ බව තවදුරටත් කළ විමසීමේ දී නිලන්ත ධනපාල මහතා පැවසීය.

උඩවලව ජලාශය ආශ්‍රිතව හටගත් ජල ගැටලුවට ජල කළමණාකරණ කමිටුව වගකිව යුතු බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහ ඩී.වී චානක රාජ්‍ය අමාත්‍යවරයා එහි දී අවධාරණය කර ඇත.