දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

July 24, 2023   04:23 pm

සේවක හිඟයක් පවතින පසුබිමක අමතර ගමන්වාර හයක් එක් කිරීමට විරෝධය පළ කරමින් විදුලි බලවේග ධාවනාගාර දුම්රිය රියදුරන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (24) පස්වරුවේ අත්හැර දමනු ලැබීය.

ඒ අදාළ අමතර ගමන්වාර කිහිපය ඉවත්කිරීමට බලධාරීන් එකඟතාව පළකිරීමෙන් පසුවයි.

ඒ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, දුම්රිය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට අද කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරන බවය.

සේවක හිඟයක් පවතින පසුබිමක අමතර ගමන්වාර හයක් එක් කිරීමට විරෝධය පළ කරමින් විදුලි බලවේග ධාවනාගාර දුම්රිය රියදුරෝ අසනීප නිවාඩු වාර්තාකරමින් ඊයේ රාත්‍රියේ වර්ජනයක් ආරම්භ කළහ.

ඒ හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 21ක් පමණ අවලංගු විය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, වර්ජනයේ ප්‍රතිඵලයක් ලෙස අද දහවල් 12 වනවිට දුම්රිය ගමන්වාර 35ක් පමණ අවලංගු වී තිබූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ සහ යාපනය අතර දිවෙන නව දුම්රිය දෙකක් අගෝස්තු පළමු වනදා සිට ධාවනය කිරීමට නියමිත හෙයින් මීට පෙර වෙනත් ධාවනාගාරයක් යටතේ ධාවනය වූ දුම්රිය ගමන් වාර 06ක් විදුලි බලවේග ධාවනාගාරය වෙත යොමුකිරීමට සිදු වූ බවය.

කෙසේ වෙතත් විදුලි බලවේග ධාවනාගාර දුම්රිය රියදුරන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් පසුව වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කළේය.

එවන් පසුබිමක ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, දුම්රිය වෘත්තිය සංගම් මෙලෙස නොදන්වා හදිසියේ සිදු කරන වර්ජනවලින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවර අද කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කරන බවයි.