වෛද්‍ය සාෆිගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
May 16, 2023 04:02 pm
වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී යැයි තීන්දු කරන ලෙස ඉල්ලා කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි මහතා විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුනි.
කුරුණෑගල පොලීසියේ නිලධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වෛද්‍ය සාෆි විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම සලකාබැලීම ආරම්භ වූ අවස්ථාවේදී පෙත්සම්කාර වෛද්‍ය සාෆි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුනි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට සාධාරණ සාක්ෂි කිසිවක් අනාවරණය වී නොතිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.
එසේ තිබියදී ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ මුස්තාපා මහතා තර්ක කළේය.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පෙත්සම්කරුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේදී විශාල මුදල් සංසරණයවීමක් සිදුවී තිබෙන බව පෙනී යන්නේ යැයි සඳහන් කර තිබුණි.
"පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවී සති දෙකකින් පසුව මෙවැනි විශාල මුදල් හුවමාරුවීම් සිදුවී ඇති බව පෙනී ගොස් තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශකයන් තුළ ඇතිවූ සාධාරණ සැකයක් මතයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ. මෙම පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමට පෙර පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශය තුළින් පෙත්සම්කරු තමන්ට මුදල් ලැබුණු ආකාරය ගැන පැහැදිලි කිරීමට අපොහොසත් වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නැහැ" යනුවෙන් විනිසුරු මළල්ගොඩ මහතා පෙන්වාදී තිබුණි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ද විවෘත අධිකරණයේ කරුණු දක්වමින් පෙත්සම්කරුගේ බැංකු ගිණුමට එකම දිනක විශාල ලෙස මුදල් තැන්පත් වී තිබෙන බව පරීක්ෂා කිරීමේදී පෙනී යන බව කියා සිටියේය.
"මෙම මුදල් ලැබුණේ කෙසේද? යන්න පැහැදිලි කර ගැනීම සඳහා විමර්ශන පැවැත්වීමට සිදුවෙනවා. පාස්කු ප්‍රහාරය එල්ලවීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ කාලසීමාවේ අද මෙන් සාමකාමී පරිසරයක් තිබුණෙ නෑ. මෙවැනි විශාල මුදල් සංසරණයවීම පිළිබඳව විමර්ශකයන් තුළ සැකයක් මතුවීම සාධාරණයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සිදු වෙනවා," යනුවෙන් විනිසුරු කෝදාගොඩ මහතා සඳහන් කර සිටියේය.
වැඩි දුරටත් කරුණු දැක්වූ විනිසුරු කෝදාගොඩ මහතා, පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව නසාර් නමැති පුද්ගලයෙකු ඒ.ටී.එම් කාඩ්පත් දහයක් සහ පිහියක් සමග අත්අඩංගුවට ගෙන තිබූ බව විමර්ශනවලින් පෙනී ගොස් ඇතැයි සඳහන් කර ඇත.
එසේ අත්අඩංගුවට ගනු ලැබූ ඒ.ටී.එම් කාඩ්පත් දහයෙන් 09 ක්ම පෙත්සම්කාර වෛද්‍යවරයාගේ බැංකු ගිණුම්වලට අයත්ව තිබූ ඒවා බව විමර්ශනවලින් හෙළිවී තිබෙන බවත් විනිසුරුවරයා පෙන්වා දුනි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර වෛද්‍යවරයා ජාතික තවුහිත් ජමාත් සංවිධානය සමග ලැදිව කටයුතු කරමින් අයථා ලෙස රුපියල් කෝටි 40 කට අධික වත්කම් සහ මුදල් උපයාගෙන ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම විමර්ශනය සිදුවූ බව සඳහන් කළාය.
අදාළ විමර්ශනවලදී ඇතිවූ සාධාරණ සැකය මත පොලීසිය විසින් පෙත්සම්කරුව අත්අඩංගුට ගත් බවත් ඇය කියා සිටියාය.
එබැවින් පොලීසිය ක්‍රියාකලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති නිසා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව නිවේදනය කළේය.
2019 වසරේ මැයි මස 24 වනදා කුරුණෑගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයවූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සාෆි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.