පාස්පෝට් කාර්යාලයෙන් ජනතාවට දැනුම්දීමක්

පාස්පෝට් කාර්යාලයෙන් ජනතාවට දැනුම්දීමක්

February 13, 2023   08:23 pm

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අද (13) උදෑසන ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දිනයට නිකුත් කිරීමට නියමිතව තිබූ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමක් නොහැකි විය.

මේ හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කළේය.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකරමින් පවතින බවය.

එමෙන්ම ඔහු පැවසුවේ අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලුදෙනාටම හෙට (14) දිනයේ පෙරවරු 12න් පසුව සිය විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙසටය.

හෙට පැමිණීමට හැකියාවක් නොමැති සියලුදෙනාටම ඔවුනගේ විදෙස් ගමන් බල පත්‍රය නිවස යැවීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

"දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකරමින් පවතිනවා. හෙට දිනට ගමන් බලපත්‍ර ලබාගැනීමට වේලාව වෙන්කරගත් අය හෙට දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. හෙට දින පැමිණීමට නියමිත අයදුම්කරුවන් අනිද්දා දිනයේ ද වන ආකාරයෙන් වේලාව වෙන්කරවා ගත් දිනයට පසු දිනයට අප කාර්යාලයට පැමිණෙන ලෙසට ඉල්ලීමක් කරනවා. සිකුරාදා දිනයේ වේලාවන් වෙන්කරවා ගත් අය සෙනසුරාදා පැමිණෙන ලෙසත් ඉල්ලීමක් කරනවා. අද දින එනම් 13 වනදා පැමිණි අය සඳහා හෙට දහවල් 12 න් පසු  ගමන් බලපත්‍ර නිකුත් කරන්න කටයුතු කරනවා. අද දින බාරදීපු කාටහරි හෙට එන්න බැරිනම් ඒ සියලුදෙනා වෙනුවෙන් අදාළ බලපත්‍රය ඒ අයගේ නිවසට යැවීමට කටයුතු කරනවා."