සා පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

සා පෙළ ප්‍රශ්නපත්‍ර ගැටලුව ගැන විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

May 10, 2024   06:17 pm

විභාග අක්‍රමිකතා කිහිපයක් වාර්තා වුවත් ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බව ද සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට ලැබී ඇති කරුණු මත විභාගයට පෙර සංසරණය වීමක් පිළිබඳ වාර්තා නොවන බව සඳහන් කළේය.

"දැනට තියෙන කරුණු අනුව කිසිදු තැනක විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමක් හෝ සංසරණය වීමක් වාර්තා වෙන්නේ නෑ. මේ සිදුවීම් සිද්ධවෙන අවස්ථාවේ දී මේ අපේක්ෂකයින් සියලුදෙනා විභාගය ලියමින් සිට ඇති අතර, ඒ වනවිට පැයකට වැඩි කාලයක් ගතවූවාට පසුව තමා මේ සිද්ධි තුනම වාර්තා වෙන්නේ. එතකොට ඒක ප්‍රශ්නපත්‍ර පිටවීමක් ලෙස සලකන්න බෑ. විභාග පනතේ හැටියටත් ප්‍රශ්න පත්‍රයක රහස්‍ය ලේඛනයක් ලෙස සලකනු ලබන්නේ විභාගය ආරම්භ වී පැය භාගයක් යන තුරු. මොකද ඒ පැය භාගය ගතවුණාට පස්සේ අපේක්ෂකයින්ට විභාග මධ්‍යස්ථානයට ඇතුළු වෙන්න අවසරයක් නෑ. මෙතනදි පරිභාහිර පුද්ගලයින්ට ප්‍රශ්නපත්‍රය යන්න පුළුවන්කමක් නෑ. අපේක්ෂකයින්ට ඒ තුළින් විශේෂ වාසියක් ලබාගන්න පුළුවන්කමක් නෑ. මේ කොළඹ ඇතිවුණ සිද්ධි දෙකේදීම අනාවරණය කරගන්න පුළුවන් වුණා ඒ අපේක්ෂකයින්ට ඒ වංචනික ක්‍රියාවේ යෙදෙන්නට පුළුවන් කමක් ලැබුණේ නෑ. මෙවැනි සිද්ධි ගැන දැඩි අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන් ජංගම දුරකථන සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන කාර්ය මණ්ඩල දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම අධීක්ෂණය ශක්තිමත් කරලා තියෙනවා."

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) දින පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අතරවාරයේදී විභාග මධ්‍යස්ථාන දෙකක අක්‍රමිකතා සිදුව තිබේ.

ඒ, කොළඹ කොටහේන ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන දෙකකදීය. 

මේ අතර හසලක ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකු විභාගය අතරතුර ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමේ සිද්ධියක් ද වාර්තා වේ.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය 06 වැනිදා ඇරඹි අතර එය එළඹෙන 15 වැනිදා දක්වා පැවැත් වේ.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අපේක්ෂකයින් ඊයේ පෙනී සිටි අවස්ථාවේ අක්‍රමිකතා සිදුවීම් තුනක් සම්බන්ධව තොරතුරු ලැබුණු බවය. 

ඉන් සිදුවීම් දෙකක් වාර්තා වී තිබුණේ කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන තුළය.

එම පාසැල්වල සිසුන් නොවූ අපේක්ෂකයින් දෙදෙනෙක් විභාග මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථන රැගෙන ගොස් සූක්ෂම ලෙස ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගතකර වට්ස්ඇප් ඔස්සේ වෙනත් පාර්ශ්ව වෙත යවා පිළිතුරු සපයාගැනීමට උත්සාහ දරා තිබේ.

සෙසු විභාග අක්‍රමිකතා සිද්ධිය හසලක ප්‍රදේශයෙන් වාර්තා වුණා. 

ඒ, විභාගය ආරම්භවීමෙන් අනතුරුව හසලක ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙක් විභාග ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහ වෙත මුදාහැරීමය.