අයවැය යෝජනා

අයවැය යෝජනා

November 14, 2022   02:13 pm

අයවැය යෝජනා පහතින් දැක්වේ.


* 2021 වසර අවසන් වෙන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3%ක් වූ රාජ්‍ය ආදායම 2025ක් වන විට 15%ක් දක්වා වැඩිකිරීම.

* 2025 වෙද්දි දළ දේශීය නිෂ්පාදනයෙන් 2%කට වැඩි ප්‍රාථමික අතිරික්තයක්.

* රාජ්‍ය අංශයේ ණය 100%කට වඩා පහළට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

* මැදි කාලීන ආර්ථික වර්ධනය 5%ක් දක්වා ළඟාවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

* විදේශ විනිමය ගලා ඒම සාමාලෝචනය කළ යුතුයි.

* බස්නාහිර, වයඹ, හම්බන්තොට හා ත්‍රිකුණාමලයේ අක්කර 1000කට වැඩි නව ආර්ථික කලාප ඇති කරනවා.

* බදු සහන මත පදනම් විදෙස් ආයෝජකයින් ආකර්ශනය කරගැනීමට රු මිලියන 300ක් වෙන් කෙරේ.

* ජාතික ඵලදායි කොමිසමක් ඇති කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කරනවා.

* ශ්‍රී ලංකාවේ දේශීය සැපයුම් ක්‍රම වර්ධනය කරනවා.

* තායිලන්තය - ශ්‍රී ලංකා  වෙළෙඳ  ගිවිසුම ගැන සාකච්ඡා ආරම්භ කෙරේ.

* සිංගප්පූරුව සමග කලාපීය වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරේ.

* ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා සිදුකිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවනවා.

* ශ්‍රී ලංකාවේ සැපයුම් ලෝකයේ පළමු රටවල් 70ට ගෙන යෑමට 2023 සිට 2027 දක්වා පස් අවුරුදු සැපයුම් සේවා සංවර්ධන වැඩසටහනක් හඳුන්වා දෙයි.

* යහපත් ව්‍යාපාර පරිසරයක් ඇති කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත රු. මිලියන 200ක් වෙන් කෙරේ.

* මෙරට කම්කරු නීතිය යල්පැන ගොස්ය. එබැවින් ආර්ථිකයට හා සේවකයින් ට ගැලපෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා කෙරේ.

* කෘෂිකර්මයේ නවීකරණයක් සඳහා භාවිතයට නොගන්නා ඉඩම් දිගුකාලීන බදු පදනම මත අපනයන බෝග වගාකිරීමට යෝජනා කෙරේ.

* ඩිජිටල් තාක්ෂණය සඳහා අවශ්‍ය ඉදිරි දියුණුව සඳහා කේෂ්ත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කෙරේ.

* ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ඵලදායි ලෙස යොදාගැනීමට සුදුසු ප්‍රතිපත්තියක් සැලසීමට කොමිසමක් පත්කරන අතර එහි වාර්තා මාස තුනක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුයි.

* කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් කරන්දෙණිය ප්‍රදේශයේ ඇති කිරීමට රු මිලියන 200ක් වෙන්කෙරේ.

* සංචාරක කර්මාන්තයේ දියුණුවට වැඩසටහන් කිහිපයක්. ඒ සඳහා රු මිලියන 50ක් වෙන්කෙරේ.

* ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්ත නඟා සිටුවීමේ අදහසින් "ජලය මත ලිස්සා" යෑම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනයට කටයුතු කෙරේ.

* පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීමට පාසල් 1,000ක් වෙන්කෙරේ.

* ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක වැඩසටහන් දියත් කිරීමට රු. මිලියන 200ක් වෙන්කෙරේ.

* දැනට කලා විෂය ධාරාවේ පමණක් ඇති කුසලතා පදනම 2023 සිට ක්‍රමානුකූලව 50%ක් දක්වා සෙසු විෂයන් සඳහා ද වැඩිකිරීමට කටයුතු කෙරේ.

* වෛද්‍යවරු සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතන පේරාදෙණිය, රුහුණ හා යාපනයේත් ආරම්භ කිරීමට රු. මිලියන 60ක් වෙන් කෙරේ.

* විශ්වවිද්‍යාල උපාධි සඳහා තත්ත්ව සහතික මණ්ඩලයක් ඇතිකිරීම.

* උසස් පෙළ සමතුන්ට හා උපාධිධාරීන්ට විදේශ ශිෂ්‍යත්ව 75ක්.

* ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට නව වෛද්‍යපීඨයක්. ඒ සඳහා රු. මිලියන 200ක් වෙන්කෙරේ.

* ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමට වෙන්වූ ආයතනයක් පිහිටුවීමට රු. මිලියන 50ක් වෙන්කෙරේ.

* රාජ්‍ය ආදායමෙන් වැඩි කොටසක් වැටුප් ගෙවීමට සිදුවෙනවා. එම නිසා වත්මන් අවශ්‍යතා මත රාජ්‍ය සේවයේ සියලු අංශ සාමාලෝචනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ සිදුකිරීමට ජනපති කොමිෂන් සභාවක් යෝජනා කෙරේ.

* බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවීම.

* දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම.

* පෞද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක් ලබා දීම.

* රජයේ සේවකයින් සඳහා ලබාදෙන අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේදය වැනි සෞඛ්‍ය රක්ෂණයක් පෞද්ගලික සේවකයින් සඳහා ද යෝජනා කරන අතර සේවක භාරකාර අරමුද එයට දායකත්වය ලබාදීමට නියමිතය.

* ආහාර සුරක්ෂිතභාවය පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්.

* මිරිදිය කර්මාන්තය දියුණු කිරීමට රු. මිලියන 100ක් වෙන්කෙරේ.

* ඇතැම් බදු නිදහස් කිරීමට යෝජනා කෙරේ. එකතු කළ අගය මත බදු පනතේ සංශෝධන 2023 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක කෙරේ.

 

* 2023 ජනවාරි 1 සිට සෙස් බද්ද, වරාය හා ගුවන් තොටුපොළ බද්ද අදියර 5කින් ද මුළුමනින්ම ඉවත්කිරීමට යෝජනා කෙරේ.

* විවිධ ගාස්තු 2023 ජනවාරි 1 සිට 20%කින් ඉහළට.

* විදේශ ගමන් බලපත්‍ර ගාස්තු, වීසා ගාස්තු ඉහළ දැමීමට යෝජනා කෙරේ.

* මූල්‍ය පිරිවැය අඩු කිරීමට 2023 ජනවාරි සිට දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවලින් එකතු කළ ආදායම් ඍජුවම මහා භාණ්ඩාගාරයට මාරු කිරීමට උපදෙස්.

* බදු පරිපාලනය වැඩිකිරීමට යෝජනා මාලාවක්.

* රාජ්‍ය වියදම් පාලනයට චක්‍රලේඛන උපදෙස් ගණනාවක් නිකුත් කෙරේ.

* සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැන්වීමට අවසර.

* රාජ්‍ය සේවකයින් මුහුණදෙන දුෂ්කර තත්ත්වය හමුවේ 2023 වසර අගවන විට රාජ්‍ය සේවකයින්ට හා විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට කටයුතු කෙරේ.

* ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, හිල්ටන් හෝටලය, වෝටර්ස් ඒජ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එහි පරිපාලන සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කෙරේ.

* මැණික් සඳහා වෙළෙඳ මධ්‍යස්ථානයක් හා කලාපයක් පිහිටුවීම.

* විදුලිබල මණ්ඩය, වරාය අධිකාරීය සහ ගුවන්තොටුපොළේ ණය 2022 අවසානයේ මධ්‍යම රජයේ ණය ලෙස හඳුනාගෙන ඇත.

* ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා.

* සුබ සාධන ප්‍රතිලාභ සඳහා නව සුදුසුකම් ලැබූවන් තේරීම 2023 ජනවාරියේ සිට ආරම්භ වේ.

* නව සුබ සාධන ප්‍රතිලාභ 2023 අප්‍රේල් මාසය වනවිට ගෙවීමට බලාපොරොත්තු වේ.

* සමෘද්ධි, වැඩිහිටි, විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් හා වකුගඩු රෝගීන්ට ලබාදෙන දීමනා අඛණ්ඩව ලබාදේ.

* ළමා පෝෂණය වැඩි කිරීමට වෙනම මුදල් වෙන් කෙරේ.

* පොල් වගාව ව්‍යාප්ත කිරීමට වැඩසටහන් හා පොල් ඉඩම් කැබලි කිරීම අක්කරයට සීමා කෙරේ.

* කෘෂි ව්‍යවසායක ගම්මාන 10ක් ස්ථාපිත කිරීම.

* තෛයිලෝක විජය පත්‍ර භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනයට ඉඩ ලබාදීම. ඒ සඳහා විශේෂඥ කමිටුවක් පත්කෙරේ.

* ගංවතුර ආරක්ෂක පද්ධතිය වැඩි දියුණු කිරීමට රු මිලියන 500ක් වෙන්කෙරේ.

* දියර කිරි නිෂ්පාදනයට රු මිලියන 100ක් වෙන්කෙරේ.

* දේශගුණය වෙනස්වීම් පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම්. ඒ සඳහා රු මිලියන 100ක් වෙන්කෙරේ.

* වන ගහණය වැඩි කිරීමට ප්‍රජා සහභාගීත්වය ලබාදීමෙන් අක්කර 50,000ක් වෙන්කිරීම.

* මධ්‍යසාරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුවට නව රසායනාගාරයක් සඳහා රු මිලියන 100ක් වෙන්කෙරේ.

* මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපිත කෙරේ. ඒ සඳහා රු මිලියන 100ක් වෙන්කෙරේ.

* ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් සඳහා රු. මිලියන 2,000ක් වෙන්කෙරේ.

*  විද්‍යුත් මෝටර් කාර් එකලස් කිරීම මෙන්ම දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීමට දිරිමත් කිරීම.