ශ්‍රී ලංකාවට ණය දුන් රටවලින් ජපානය කළ ඉල්ලීම

ශ්‍රී ලංකාවට ණය දුන් රටවලින් ජපානය කළ ඉල්ලීම

August 30, 2022   11:39 am

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට "ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල්" එකතුවීම වැදගත් බව ජපානය පවසයි.

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ටෝකියෝ නුවර දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, එලෙස අනෙකුත් ණයහිමි රටවල් සම්බන්ධීකරණය සඳහා ජපානයට කටයුතු කළ හැකි බවය.

"ශ්‍රී ලංකාව මුහුණදී සිටින දරුණු සමාජ ආර්ථික තත්ත්වය ගැන අපි අවධානයෙන් ඉන්නේ," ජපාන මුදල් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා අනෙකුත් ණයහිමි රටවල් සමග සාකච්ඡා කිරීමට ප්‍රමුඛත්වය ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය ට පසුගියදා ආරාධනා කළේය. 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග අදහස් හුවමාරුවක් සිදුවූවත්, එවැනි සාකච්ඡාවක් මෙතෙක් සැලසුම් කර නොමැති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මීට පෙර පවසා තිබුණි.

සියලුම ණයහිමියන්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් පැවැත්වීමට ජපානය බලාපොරොත්තු වන අතර එමගින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයට යම් විසඳුමක් ලැබෙතැයි අනුමාන කෙරේ.

ශ්‍රී ලංකාවට ණය සපයා ඇති රටවල් අතුරින් චීනය ඉදිරියෙන්ම සිටින අතර මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ගැන මෙතෙක් චීනය පැහැදිලිව පවසා නොමැත.