තවදුරටත් දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

තවදුරටත් දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

August 8, 2022   07:28 am

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (07) පස්වරු 3 සිට අද (08) පස්වරු 3 දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවය. 

ඒ අනුව හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.

මේ අතර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා අවශ්‍ය සහන ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජලගැලීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් වීමසීම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකින් අනතුරුව  බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

මේ අතර පස්කදු කඩාවැටීම් හා නායයෑම් හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට (09) සිට යථාතත්ත්වයට පත්කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

උඩරට දුම්රිය මාර්ගයේ සිදුව ඇති නායයාම් හේතුවෙන් කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර කිහිපයක් පසුගිය දා අවලංගු කර තිබුණි.