ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නැවත විකිණු බවට සැකය එල්ලවූ නාකොටික් නිලධාරීන්

ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නැවත විකිණු බවට සැකය එල්ලවූ නාකොටික් නිලධාරීන්

April 30, 2024   11:41 am

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සිය බාරයට ගත් මත්ද්‍රව්‍ය නැවත ජාවාරම්කරුවන්ට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇපමත මුදා හැර සිටින එම කාර්යාංශයට අනුයුක්තව සිටි සැකකාර පොලිස් නිලධාරීන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන තිබෙන්නේ කෙසේදැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ යළි විභාගයට ගත් අවස්ථාවේදී එය සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් මෙම ප්‍රශ්නය මතු කරන ලදී.

මෙම පෙත්සම්  ප්‍රීති පද්මන් සූරසේන,  ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබීය. 

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ සේවය කළ සැරයන් රත්නායක නමැති නිලධාරියාගේ ප්‍රකාශයක් මත ඔහු විසින් සඟවා තිබූ රුපියල් මිලියන 31කට අධික මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් බවයි. 

ඊට අමතරව අවි ආයුධ මෙන්ම මත්ද්‍රව්‍ය තොග ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නිලධාරීන් සතුව තිබී  සොයාගත් බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සිහිපත් කළේය. 

එපමණක් නොව මෙම සැකකාර පොලිස් නිලධාරින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය තොග විකිණීම, ප්‍රවාහනය කිරීම වැනි කටයුතුවලට හවුල්වී ඇති බවට සාක්ෂි අනාවරණය වී ඇති බවත් රජය නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මහජනතාව ආරක්ෂා කිරීම සඳහා බැඳීසිටින පොලිස් නිලධාරීන් මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග හවුල්වී කටයුතු කිරීම අනුමත කළ හැකි ක්‍රියාවක්දැයි ප්‍රශ්න කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙය රටේ නීතියේ ආධිපත්‍යයට බරපතළ තර්ජනයක් බවත් අවධාරණය කළේය. 

මෙවැනි පුද්ගලයින්ගෙන් රටට සිදුවන හානිය සැලකිල්ලට ගෙන සෙසු නිලධාරීන්ට ද ආදර්ශයක් දිය හැකිවන පරිදි මෙම පෙත්සම් විශාල ගාස්තුවකට යටත්කොට නිෂ්ප්‍රභ කරන ලෙසත්  ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මෙම පෙත්සම්කරුවන් බරපතළ වැරදි ක්‍රියාවල යෙදී ඇත්නම් ඔවුන් යළි සේවයේ පිහිටුවීමට පියවර ගනු ලැබුවේ කෙසේදැයි  රජයේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. 

ඊට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා සඳහන් කළේ එය තමන්ටද බරපතළ ගැටලුවක් බවයි.

ඉන් අනතුරුව පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කිරීමට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඊයේ දින සිට සති තුනක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළහ. 

ඉන් අනතුරුව මෙම පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් තබන ලදී.