අනවසර ලෙස ඉන්ධන රැස්කළ කිහිපදෙනෙක් අත්අඩංගුවට

අනවසර ලෙස ඉන්ධන රැස්කළ කිහිපදෙනෙක් අත්අඩංගුවට

July 30, 2022   10:52 am

ඕමන්ත, කොන්දකාරකුලම් ප්‍රදේශයේ දී අනවසර ලෙස ඉන්ධන රැස්කරගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුලියන්කුලම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොන්දකාරකුලම් ප්‍රදේශයේ නිවසක වැටලීමක් සිදුකර අදාළ සැකකරු ඉන්ධන සමග අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සතුව තිබී රුපියල් දෙලක්ෂ හතලිස් දෙදහසක් පමණ වටිනා ඩීසල් ලීටර් 550ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

40 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු සහ ඉන්ධන ඕමන්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ අතර, වේයන්ගොඩ - නයිවල ප්‍රදේශයේදී අනවසර ලෙස ඉන්ධන රැස්කරගෙන සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සැකකරු සතුව තිබී පෙට්‍රල් ලීටර් 105ක් සහ ඩීසල් ලීටර් 71ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිවල, එක්සැල්ල ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු අද අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වේයන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම් වලදී අනවසර ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පෙට්‍රල් ලීටර් 606ක් සහ ඩිසල් ලීටර් 6,610ක්  සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය.