සජිත්ගෙන් හෙළිදරව්වක්

සජිත්ගෙන් හෙළිදරව්වක්

June 29, 2022   01:16 pm

රටතුළ පවතින අර්බුදකාරි තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව විකුණා දැමීමට වත්මන් රජය උත්සහා දරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් ඊයේ (28) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදි හමුවු අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

"අපේ රට සතුව තියෙන තෙල් පිරිපහදුව අංග සම්පූර්ණව ක්‍රියාත්මක කිරීම තුළ රටේ 100%ක පමණ භූමිතෙල් අවශ්‍යතාවය, 50%ක් පමණ ගුවන් යානා තෙල් අවශ්‍යතාවය, ඩීසල් අවශ්‍යතාවයෙන් 30%ක් පමණ, පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14%ක් සපුරාලීමට හැකියාව තියෙන වටිනා සම්පතක්. රට තුළ සිදුව තිබෙන මේ බිඳවැටීම අස්සේ රජය පිඹුරුපත් සකස් කරනවා අපේ රටේ ජාතික සම්පත කුණු කොල්ලයට වෙන්දේසි කරන්න. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා ජනතාවගේ ඛේදවාචකය තුළ රටේ සම්පත් හොරාට විකුණන හොර ගිවිසුම් ගහන්න කටයුතු කරන්න එපා. එයට දායක වන ලේකම්වරු ප්‍රමුඛ කැබිනට් පත්‍රිකා සකස් කරන, නිලධාරින් ප්‍රමුඛ සියලුදෙනාට ඉදිරි අපගේ රජයක් තුළ ගත්ත තීරණවලට වගකියන්න සිද්ධවෙනවා."