බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද වාර්තා පොලීසියට සපයන ලෙස අධිකරණයෙන් නියෝග
July 19, 2021 09:11 pm
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි 16 හැවිරිදි දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සිව් දෙනෙකුගේ දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා වහාම බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙස අධිකරණය නියෝගකර තිබේ.
බොරැල්ල පොලීසිය මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනූව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (19) එම නියෝගය කළාය.
පිළිස්සුම් තුවාල සහිතව එම දැරිය කොළඹ ජාතික රෝහලේ දී පසුගිය දා මිය ගිය අතර පසුව හෙළිදරව් වී ඇත්තේ එම දැරිය ලිංගික අපයෝජනයට ද ලක්වී ඇති බවය.
මේ අතර අදාළ දැරියව හැටන් ප්‍රදේශයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට රැගෙන ආ තැරැව්කාරුගේ බැංකු ගිණුම් වාර්තා ද බොරැල්ල පොලීසියට ලබාදෙන ලෙසට රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන කිහිපයකටත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කළ බව “අද දෙරණ අධිකරණ“ වාර්තාකරු පැවසීය.
අදාළ දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව දුරකථන සංවාද විශ්ලේෂණ වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා අවශ්‍ය බවට බොරැල්ල පොලීසිය විසින් මෝසමක් මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ නියෝගය නිකුත්කර ඇත.
