පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම‍ අධිකරණයෙන් කළ ඉල්ලීම

පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම‍ අධිකරණයෙන් කළ ඉල්ලීම

January 7, 2021   01:10 pm

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම සිදුකළ ඉල්ලීමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා මහ බැංකුවේ අධ්‍යක්ෂවරයකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත්කර තිබේ.

නීතිඥ ගාස්තු ගෙවීම සඳහා, දැනටමත්  තහනමට ලක්කර ඇති සිය බැංකු ගිණුම්වලින් මුදල් මුදාහරින ලෙස ඉල්ලමින් මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම විසින් අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණි.

පර්පචුවල් ට්‍රේෂරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සමාගමට අදාළ නීතිඥ ගාස්තු ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමට අවශ්‍ය බවත් සිය බැංකු ගිණුම් මේ වන විට තහනමට ලක්කර ඇති හෙයින් එම මුදල් සපයා ගැනීමට නොහැකි වී ඇති බවත් පෙන්වා දී තිබුණි.

ඒ අනුව අදාළ මුදල් ලබාගැනීම සඳහා සිය ගිණුම්වලට පනවා ඇති තහනම ලිහිල්කරන නියෝගයක් නිකුත්කරන ලෙස එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයන් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ සමාගමේ දල පියවීම් පද්ධති ගිණුමෙන් මුදල් ගෙවීම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන බැංකු අධීක්ෂණ අංශයෙන් කරුණු විමසිය යුතු බව කියා සිටියාය. 

එම ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා මේ පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය අධික්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයාට පෙබරවාරි 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළ බව "අද දෙරණ" අධිකරණ වාර්තාකරු පැවසුවේය.