පරාජයට අපි කවුරුත් වගකියන්න ඕනේ-හකීම්

පරාජයට අපි කවුරුත් වගකියන්න ඕනේ-හකීම්

November 28, 2019   07:11 pm

විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ එය තමන්ට නිල වශයෙන් දැනුම්දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයාට ලිපියක් යොමුකරමින් දැනුම් දී ඇත.

එම තීරණය නිල වශයෙන් දැනුම් දුන් පසු මීළඟ පාර්ලිමේන්තු දිනයේදී කථානායකවරයා විසින් ඒ පිළිබඳව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

හමුවෙන් අනතුරුව පක්ෂ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලුවට පැය 48ක කාලයකින් විසඳුමක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වු මනෝ ගනේශන් මහතා වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ කිසි ලෙසකින්වත් බෙදීමක් සිදු නොවන බවයි.

එම අවස්ථාවේ අදහස් දැක්වු එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය යනු එක්සත්ව ඉදිරියට යන පක්ෂයක් බවයි.

එසේම සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අසනීපයෙන් පසුවන බවත් එනිසා අද පැවති සාකච්ඡාවට සහභාගි නොවු බවත් ඒ මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පෙරමුණේ පා.ම.පී.දිගම්බරන් මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එක් අයෙක් විපක්ෂ නායක ධුරයත් අනෙක් කෙනා පක්ෂ නායක ධුරයත් භාර ගත යුතු බවයි.

එසේම පාර්ල්මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ පරාජය පිළිබඳව කිසිවෙකුටක් ඇඟිල්ල දිගු කළ නොහැකි බවත් එහි වගකීම සාමූහිකව සියලු දෙනා වෙත යොමු වන බවත්ය.

මේ අතර විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් එකිනෙකට වෙනස් මත දෙකක් ඉදිරිපත්ව තිබීම හේතුවෙන් ඒ පිළිබඳව මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණෙන ලෙසත් එම තීරණය තමා වෙත නිල වශයෙන් දැනුම්දෙන ලෙසත් කථානායකවරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයාට ලිපියක් යොමුකරමින් දන්වා ඇත.

කථානායක මාධ්‍ය අංශය නිවේදනය කළේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 57දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් ඊයේ පස්වරුවේ කථානායකවරයා වෙත ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව කථානායකවරයා දන්වා ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් 57දෙනාගේ ඉල්ලීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුකොට පක්ෂයේ නිල ස්ථාවරය තමා වෙත දැනුම්දෙන ලෙසයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු සම්ප්‍රදානුකූලව මීළඟ පාර්ලිමේන්තු දිනයේදී විපක්ෂ නායකවරයා පිළිබඳව නිල වශයෙන් කථානායකවරයා දැනුවත් කිරීම සිදුකරන බවත් ඉන් අනතුරුව පමණක් විපක්ෂ නායකධුරය නිල වශයෙන් බලාත්මක වන බවත් කථානායකවරයාගේ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් කථානායක කරූ ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් ඊයේ ප්‍රකාශ කර තිබුණේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ලෙස පිළිගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකිරීමක් නොවන බවයි.