ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන විමර්ශන අරඹයි

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරීම ගැන විමර්ශන අරඹයි

November 28, 2019   07:33 am

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියකට තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ස්විස්ටර්ලන්ත රජය ශ්‍රී ලංකා බලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා සම්පූර්ණ පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන් නීතිය හමුවට පැමිණිවිමට ශ්‍රී ලංකා රජය පියවර ගත යුතු බවයි.

පසුගිය සදුදා දිනයේ මෙරට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තර්ජනය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වී තිබුණි.

අදාල මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ තානාපති කාර්යාලයේ තොරතුරු හෙලිකරන ලෙස නාදුනන පිරිසක් සිය සේවකයාට තර්ජනය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බව ද ස්විස්ටර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මේ අතර මෙරට ස්විස්ටර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් මහතා ඊයේ දිනයේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇත.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.