නව සීමාවාසික පත්වීම් 1401ක්

නව සීමාවාසික පත්වීම් 1401ක්

September 11, 2019   08:45 pm

2011 - 2012 වර්ෂ සඳහා නව සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම අද (11) සිදු කෙරිණ. 

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් මෙම පත්වීම් පිරිනැමීම සිදු කෙරුණේ අරලියගහ මන්දිරයේදීයි. 

ඒ අනුව දේශීය හා විදේශීය වශයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ 1401 දෙනෙකු වෙත අද සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රදානය කරනු ලැබීය.

සමස්ත ශ්‍රී ලංකාවේම විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨයන් නියෝජනය කරමින් වෛද්‍යවරුන් 1097ක්, විදේශ රටවලින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරූ වෛද්‍යවරුන් 225ක්, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයෙන් බිහි වූ වෛද්‍යවරුන් සහ සයිටම් වෛද්‍ය පීඨය නියෝජනය කරන වෛද්‍යවරුන් පිරිසක් ද අද ලබා දුන් සීමාවාසික වෛද්‍ය පත්වීම්ලාභීන්ට අයත් වේ. 

මෙම පත්වීම් ලැබූ සීමාවාසික වෛද්‍යවරුන් කායික රෝග, ශල්‍ය වෛද්‍ය, ළමා රෝග, ප්‍රසව හා නාරිවේද ආදී ක්ෂේත්‍ර වෙත යොමු කෙරෙනු ඇත. 

එමෙන්ම එක් විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ මෙම නව සීමාවාසික වෛද්‍යවරුන් 4 දෙනෙකු බැගින් සේවයේ යොදවා එක් අවුරුදු සීමාවාසික පුහුණුවක් ලබා දීමට නියමිතයි. 

ඒ සඳහා ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් රෝහල්, පළාත් මහ රෝහල්, මූලික රෝහල් වෙත අනුයුක්ත කෙරෙනු ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ මෙතැන් සිට මෙම සීමාවාසික වෛද්‍යවරුන් මහජනතාවට සේවය කිරීමේ ජාතික කර්තව්‍ය ආරම්භ කරන බවයි. 

එමෙන්ම සෞඛ්‍ය සේවයේ වගකීම් පිළිබ්‍දවද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර දෙන ලදී.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, නියෝජ්‍ය අධ්‍යක්ෂ (තෘතීය සත්කාර සේවා) වෛද්‍ය අනුෂිකා අබේනායක සහ අමාත්‍යතුමාගේ පුද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.