ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට ඉරානයෙන් අවසර?

ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට ඉරානයෙන් අවසර?

March 21, 2026   11:30 am

ජපානයට සම්බන්ධ නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීමට අවසර ලබාදීමට ඉරානය සූදානම් බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා තිබේ.

ජපානයේ කියෝඩෝ නිවුස් මේ බව තහවුරු කරමින් පවසා ඇත්තේ, පනවා ඇති අවහිරතා තාවකාලිකව ඉවත්කරගැනීමේ අරමුණින් දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇති බවය.

"අවහිරතා ඉවත් කිරීමට වඩාත්ම ඵලදායී ක්‍රමය ඉරානය සමග සෘජු සාකච්ඡා" බව අරග්චිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් ජපාන රජයේ නියෝජිතයෙක් පවසා ඇත.

කෙසේ වෙතත් ජපාන රජයේ නියෝජිතන් පෙන්වා දෙන්නේ, මෙම අවසරය අමෙරිකාව කුපිත නොකර උපරිම සැලකිල්ලක් කටයුතු කළයුතු බවය.

ජපන් යාත්‍රාවලට හෝමූස් හරහා ගමන් කිරීමට අවසර දුන්නද, එය පවතින බලශක්ති අර්බුදයට විසඳුමක් නොවන බවත් ඔවුහු වැඩිදුරටත් පවසා තිබේ.

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු කියෝඩෝ වෙත පවසා ඇත්තේ, අර්ග්චිගේ ප්‍රකාශය පිටුපස ඇති 'සැබෑ අභිප්‍රාය' ප්‍රවේශමෙන් තක්සේරු කළ යුතු බවය.

අමෙරිකාවේ සංචාරයක නිතර වූ ජපාන අගමැති සානේ ටකයිචි,  ජනපති ට්‍රම්ප් හමුවී යළි ජපානය බලා පිටත්ව යන අතරවාරයේ මෙම අවසර හිමිවීම සුවිශේෂීය.