ලසන්ත-තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 6කට ගැන CIDයෙන් වාර්තාවක් කැඳවයි

ලසන්ත-තාජුඩීන් ඝාතන ඇතුළු සිද්ධීන් 6කට ගැන CIDයෙන් වාර්තාවක් කැඳවයි

August 18, 2019   03:54 pm

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් 06කට අදාළ විමර්ශන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබේ.

එම විමර්ශනවලට අදාළව කරුණු 11ක් සම්බන්ධයෙන් වෙන වෙනම ගොනු සකස් කර ලබන 23 වනදා හෝ ඊට පෙර එම වාර්තාව ලබා දෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගෙන යෑම, සහන සේවකයින් 17 දෙනෙකු ඝාතනය කිරීම සහ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධින්වල විමර්ශන කඩිනම් කරන ලෙස නීතිපතිවරයා පසුගිය 15 වනදා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.

ඒ අනුව අදාළ සිද්ධීන් 05ට අමතරව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධියද ඇතුළුව සිද්ධීන් 06ක විමර්ශනවලට අදාළ කරුණු විමසීමක් වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.