ලසන්ත-තජුඩීන් ඝාතනයේ විමර්ශන අවසන් කරන්නැයි නීතිපති උපදෙස්

ලසන්ත-තජුඩීන් ඝාතනයේ විමර්ශන අවසන් කරන්නැයි නීතිපති උපදෙස්

August 15, 2019   06:59 pm

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධි කිහිපයක විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.

මේ අතර පොලීසිය මඟින් චෝදනා ගොනු කිරීම සඳහා තම දෙපාර්තමේන්තුවට ලිපිගොනු භාරදීමේදී නිසි පරිදි සම්පූර්ණ කළ ලිපිගොනු ලෙසින් ඒවා යොමු කරන ලෙසද නීතිපතිවරයා දන්වා ඇත.

නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා පොලීසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට එවා ඇති ලිපි ගොනුවල අසම්පූර්ණතා ඇති බව නිරීක්ෂණය වී ඇතැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට අද ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393(6) වගන්තියට අදාළව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා ලිපිගොනු යොමුකිරීමේදී ඒවා එම නෛතික වගන්තියට අනුකූලව යොමු කිරීමට අපොහොසත් වී තිබුණහොත් මින් අනතුරුව එම ලිපිගොනු යළි හරවා එවීමට සිදුවනු ඇති බවද නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

එබැවින් නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිගොනු යොමුකිරීමේදී අදාළ නෛතික ප්‍රතිපාදනවලට දැඩි අනුකූලතාවයකින් යුතුව සම්පූර්ණ ලිපිගොනු ලෙසින් ඒවා යොමු කරන ලෙස පොලීසියේ සියලු අංශවලට දැනුම් දෙන්නැයි නීතීපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය.

මේ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සහන කණ්ඩායමක පුද්ගලයින් 17 දෙනෙක් ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, කීත් නොයාර් පැහැරගැරනීම, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීම යන සිද්ධිවල විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කරන ලෙසද නීතීපතිවරයා පොලීසියට උපදෙස් ලබා දී ඇතැයි ඇය සදහන් කළාය.

එම විමර්ශන කඩිනමින් අවසන් කොට සම්පූර්ණ විමර්ශන ගොනු චෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසද නීතීපතිවරයා යොමු කළ ලිපියේ සඳහන්ය.