වැලිකඩ සිට කාන්තාවක් කළ නීතිවිරෝධී වැඩේ එළියට

වැලිකඩ සිට කාන්තාවක් කළ නීතිවිරෝධී වැඩේ එළියට

May 7, 2024   05:24 pm

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින කාන්තාවක් වැලිකඩ බන්ධනාගාරයේ සිට ඇයට එරෙහිව විභාග වන නඩුවේ සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඊට අදාළ නඩුව කැස්බෑව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මේ බව අධිකරණය වෙත දැනුම්දී තිබේ.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව මැයි මස 20 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර කරන ලෙසටය.

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට එක්කිරීමේ සිද්ධීන්ට අදාළව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට බව පවසා ඊට අදාළ චෝදනා එල්ලවූ පුද්ගලයින්ගෙන් මුදල් ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකකාර කාන්තාව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි.

මෙහිදී සැකකාර කාන්තාව විසින් රුපියල් ලක්ෂ 22කට ආසන්න මුදලක් වංචාසහගත ලෙස ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබුණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

ඇය අප්‍රේල් මස 20 වනදා පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඇයගේ තාවකාලික නිවහන තුළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් අන්තර්ජාල ආවේක්ෂණ  හා බුද්ධි ඒකකය මගින් සජීවී නිරුවත් වීඩියෝ සහ වෙනත් තරුණියන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ මුදලට අලෙවි කිරීමේ සිද්ධීන්ට අදාළ සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීම සිදුකරයි.

එවැනි චෝදනා එල්ලවූ සැකකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම නැවතීමට පොලිස් නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට යැයි පවසා මෙම කාන්තාව මෙලෙස මුදල් වංචා සිදුකර ඇති බවට හෙළිවී තිබේ.