උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරුම කීත් නොයාර් පැහැර ගත් සැකකරු ලෙස නම් කරන්න-CID උපදෙස්

උපාලි තෙන්නකෝන්ට පහර දුන් සැකකරුම කීත් නොයාර් පැහැර ගත් සැකකරු ලෙස නම් කරන්න-CID උපදෙස්

July 9, 2019   03:35 pm

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරීයා මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ ද සැකකරුවකු ලෙස නම් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් මෙම ලිඛිත උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යොමුකළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළේය.

එම ලිඛිත උපදෙස්වලින් නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව ලලිත් රාජපක්ෂ නමැති යුධ හමුදා බුද්ධි අංශ නිලධාරියාට එරෙහිව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි පවතින බවයි.   

ඒ අනුව කීත් නොයාර් පැහැරගෙන යාම පිළිබඳ නඩු විභාගය පැවැත්වෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැකකරු නම් කිරීමට පියවර ගන්නා ලෙස ද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති උපදෙස්වල සඳහන් වෙයි.