සුහදශීලිව සහ මිත්‍රත්වයෙන් අද රැස් වු කැබිනෙට්ටුව

සුහදශීලිව සහ මිත්‍රත්වයෙන් අද රැස් වු කැබිනෙට්ටුව

June 18, 2019   10:47 pm

කැබිනට් රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) ඉතා සුහදශීලිව සහ මිත්‍රත්වයෙන් පැවැති බව ඊට එක් වූ අමාත්‍යවරුන් පවසයි.

අද මෙලෙස කැබිනට් රැස්වීම පැවැත්වුණේ, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදකාරි තත්ත්වයක් හේතුවෙන් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම නොපැවැත්වුණ පසුබිමකයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉකුත් ජුනි 7 වැනිදා රාත්‍රියේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවමින් , පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලිමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට සිය අප්‍රසාදය පළ කළ අතර ඉදිරියේදි කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බවට ප්‍රකාශයක්ද කර තිබුණි.

එවන් පසුබිමක සෑම සතියකම අඟහරුවාදා දින පැවැත්වෙන කැබිනට් රැස්වීම පසුගිය 11 වැනි අගහරුවාදා පැවැත්වුණේ නැත.

කෙසේ වෙතත් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පවත්වනු ලැබුවේය.

රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් සහ කබීර් හෂීම් සිය අමාත්‍ය ධුර වලින් ඉවත් වීමෙන් ඇති වූ පුරප්පාඩු සඳහා වැඩ බලන අමාත්‍යවරු ලෙස පත් කළ ලකී ජයවර්ධන , බුද්ධික පතිරණ සහ අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ද අද කැබිනට් මණ්ඩලයට සහභාගී වීය.