තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මැයි 7 දක්වා රිමාන්ඩ්

තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මැයි 7 දක්වා රිමාන්ඩ්

May 2, 2019   10:53 am

පැය 72 ක  කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම සැකකරු අද(02) කෙසෙල් වත්ත පොලිසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබීය.

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති  බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බව යි.

මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බවට පත්කර ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 07 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අවසර ලබා දුන්නේය.