වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කළේ යැයි ඉදිරිපත් කළ පෙත්සම සලකා බලන්න දින තීන්දුයි

වෛද්‍ය සභාව අධිකරණයට අපහාස කළේ යැයි ඉදිරිපත් කළ පෙත්සම සලකා බලන්න දින තීන්දුයි

February 21, 2019   11:46 am

අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 06  වන දා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන දිල්මි සූරියාරච්චි සිසුවිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනි දීපාලි විජේසුන්දර සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීම ලබන මස 6 වනදා සිදු කරන බවයි.

මෙම පෙත්සමට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මීට පෙර අභියාචනා අධිකරණයට දැනුම් දී තිබුණි.

පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීනි සිසුවිය සඳහන් කර සිටින්නේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව ලියාපදිංචි කරන මෙන්  අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගයට අනුව කටයුතු කරමින් තමන්ට මේ දක්වා ලියාපදිංචි කිරීමට වෛද්‍ය සභාව පියවර ගෙන නොමැති බව පෙත්සම්කාර උපාධිධාරිණිය චෝදනා කර සිටියි.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ඇය තම පෙත්සමෙන් ඉල්ලා තිබේ.