බීඩි කොළ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව හෙට

බීඩි කොළ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව හෙට

February 17, 2019   07:02 am

ව්‍යාජ තොරතුරු ලබාදී බීඩි කොළ තොගයක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව හෙට(18) දිනයේ යළි විභාගයට ගැනීමට නියමිතව තිබේ.

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩු විභාගය පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශයේ සිට ඇඟලුම් භාණ්ඩ ගෙන්වන බව පවසා බීඩි කොළ කන්ටේනරයක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ මධ්‍යම විමර්ශන අංශයේ නිලධාරින් විසින් පරීක්ෂණයක් පවත්වනු ලැබීය.

අදාළ බීඩි කොළ තොගය මෙරටට මුහුදු මාර්ගයෙන් ආනයනය කර ඇති අතර එය යළි ගුවන් මගින් ඉතාලියට ප්‍රතිඅපනයන කිරීමට සැලසුම් කර තිබු බව රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ  විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් ඊට අදාළ වැඩිදුර නඩු විභාගය හෙට දිනයේ සිදුකිරීමට නියමිත බව විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කලේය.

මෙම අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර ද ගම්මිරිස් සහ කරුන්කා මෙරටට ආනයනය කර ප්‍රතිඅපනයන කිරීමේ ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

සැකකරු විසින් රේගුවට ව්‍යාජ තොරතුරු ලබා දී මෙම ජාවාරම සිදුකර ඇති බව වාර්තා වෙයි.

හෙට දිනයේ නඩු විභාගයේ දී අදාළ සැකකරුට එරෙහිව ඇති සියලු චෝදනා අධිකරණයට ඉදිරිපත් කිරීමට රේගු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.