සයිටම් සිසුවියගේ පෙත්සම සලකා බැලීම කල් යයි

සයිටම් සිසුවියගේ පෙත්සම සලකා බැලීම කල් යයි

January 23, 2019   04:08 pm

අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 21 වන දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන දිල්මි සූරියාරච්චි සිසුවිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (23) අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු ඔබේසේකර මහතා නියෝග කළේ එය ලබන මස 21වන දා සලකා බලන බවයි.

මෙම පෙත්සමට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මීට පෙර අභියාචනා අධිකරණයට දැනුම් දී තිබුණි.

පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීනි සිසුවිය සඳහන් කර සිටින්නේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව ලියාපදිංචි කරන මෙන්  අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවයි.

එම නියෝගයට අනුව කටයුතු කරමින් තමන්ට මේ දක්වා ලියාපදිංචි කිරීමට වෛද්‍ය සභාව පියවර ගෙන නොමැති බව පෙත්සම්කාර උපාධිධාරිණිය චෝදනා කර සිටින්නේය.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ඇය තම පෙත්සමෙන් ඉල්ලා තිබේ.