යාළුකමට උත්තර ලියන්න ගිහින් මිතුරා පොලීසියේ

යාළුකමට උත්තර ලියන්න ගිහින් මිතුරා පොලීසියේ

December 11, 2018   07:14 am

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගයේ විභාග අයදුම්කරු වෙනුවට පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(10) දිනයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා විභාග අයදුම්කරු වෙනුවට ඔහුගේ මිතුරෙකු විභාගය සඳහා පෙනී සිට ඇති බව වාර්තා වෙයි.

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග ශාලාවේ දී අදාළ පුද්ගලයා විභාගයට පෙනී සිටින අවස්ථාවේ ඒ පිළිබද සැක සිතූ විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව තිහගොඩ පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු අද(11) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.