සයුරෙන් එතෙර
තමන්ගේම ලෝක වාර්තා බිඳ දමමින් 32වන වරටත් එවරස්ට් තරණය කළ කාමි රීට
May 17, 2026 04:21 pm
නේපාල ජාතික කඳු නගින මාර්ගෝපදේශකයෙකු වන 56 හැවිරිදි කාමි රීටා ෂර්පා (Kami Rita Sherpa) අද (17) 32 වන වරටත් ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඔහු පසුගිය වසරේ තබා තිබූ තමන්ගේම ලෝක වාර්තාව බිඳ දමමින් මෙලෙස එවරස්ට් කන්ද තරණය ඇත.
මේ අතර, ලක්පා (Lakhpa) නැමැති 52 හැවිරිදි ෂර්පා කාන්තා ද 11 වන වරටත් එවරස්ට් කන්ද තරණය කර ඇති අතර, එය ලොව කාන්තාවක් වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කළ අවස්ථාව ලෙස වාර්තා වේ.
කාමි රීටා ප්රථම වරට එවරස්ට් කන්ද තරණය කර ඇත්තේ 1994 වසරේදීය.
විවිධ හේතූන් මත සංචාර අත්හිටවූ 2014, 2015 සහ 2020 වසරවල හැර ඔහු සෑම වසරකම පාහේ කන්ද තරණය කර ඇති අතර සමහර වසරවල දෙවතාවක්ම කන්ද මුදුනට ගොස් ඇත.
විදේශිකයන්ට මාර්ගෝපදේශනය සැපයීම මෙම ප්රදේශයේ වෙසෙන වැසියන්ගේ ප්රධාන ජීවනෝපාය වේ.
මෙවර කඳු නැගීමේ වාරය සඳහා බලපත්ර 492ක් නිකුත් කර ඇති අතර, මේ මාසය තුළ පමණක් නේපාල ජාතික කඳු නගින්නන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
