බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්
සයුරෙන් එතෙර

බංග්ලාදේශ බෞද්ධයන් වෙනුවෙන් අගමැති තාරික්ගෙන් වෙසක් පණිවුඩයක්

May 1, 2026   03:15 pm

බංග්ලාදේශය සියලු ආගම් සහ මත දරන ජනතාවට ආරක්ෂිත නිවහනක් බවට පත්කිරීමට අඛණ්ඩව උත්සාහ කරන බවත්, විවිධත්වයට ගරුකරන ආරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් පවසා තිබේ.

අදට (මැයි 1) යෙදී ඇති වෙසක් පොහෝ දිනය වෙනුවෙන් එරට මෙන්ම ලෝකවාදී බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත.

වෙසක් තෙමඟුල බංග්ලාදේශ බෞද්ධයන්ට මෙන්ම ලෝකවාදී සියලුම ජනතාවට සතුට, සාමය සහ යහපැවැත්ම ඉටුකරන වෙසක් දිනයක් වේවායැයි ප්‍රාර්ථනා කරන බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ආගම පුද්ගලයන්ට අයත්. නමුත් ආරක්ෂාව සඳහා ඇති අයිතිය සෑම පුරවැසියෙකුටම අයත්. එනිසා සියලු ප්‍රජාවන් සඳහා ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම අපේ වගකීමක් යැයිද ඔහු මෙහිදී පවසා තිබේ.

ආගමික සුළුතරයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දැනටමත් විවිධ මුලපිරීම් ආරම්භ කර ඇති බවත් එහිදී සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා, ඉදිරි දිනවලදී එවැනි උත්සාහයන් දිගටම පවතිනු ඇතැයිද මෙහිදී අවධාරණය කර ඇත.

වෙසක් පොහෝ දිනය වෙනුවෙන් එරට පුවත්පත් වෙසක් දිනය ගැන සඳහන් කළ විශේෂ ලිපි පළකර ඇති අතර, එරට රූපවාහිනිය (BTV) සහ පෞද්ගලික රූපවාහිනී නාලිකා ද දිනයේ වැදගත්කම ඉස්මතු කරන විශේෂ වැඩසටහන් විකාශනය කිරිමට පියවරගෙන ඇත.

මේ අතර බංග්ලාදේශ බෞද්ධ ක්‍රිස්ටි ප්‍රචාර් සංඝ සභාව විසින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද උදෑසන විවිධ නගර, මාර්ග සහ මංමාවත් ඔස්සේ විචිත්‍රවත් 'සාම පෙරහැරක්' පැවැත්වීමටද කටයුතු කර තිබේ.

එමෙන්ම චිතගොං, රංගමති, බන්ඩාර්බන්, ඛග්‍රචරි, කොක්ස් බසාර්, කොමිලා, බර්ගුනා, රංපූර් සහ සිල්හෙට් වැනි බෞද්ධයන් ජනාකීර්ණව සිටින ප්‍රදේශවලද වෙසක් පොහෝ දිනය උත්කර්ෂවත් ලෙසින් සමරනු ලැබ ඇත.