පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සල්මන් අගා ගැන ICCය තීරණයක් ගනියි 

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක සල්මන් අගා ගැන ICCය තීරණයක් ගනියි 

March 14, 2026   09:59 pm

බංගලාදේශය සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී පාකිස්තාන පිතිකරු සල්මන් අලි අගා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම සංග්‍රහයේ පළමු මට්ටම උල්ලංඝනය කර තිබේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලය දන්වා සිටින්නේ, ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය ආගා උල්ලංඝනය කර ඇති බවය.

ඒ අනුව ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ඇඳුම්, ක්‍රීඩා පිටියේ ඇති අනෙකුත් දෑ අනිසි ලෙස භාවිත නොකළ යුතුය. 

සල්මන් අලි අගා වසර දෙකක කාලයක් ඇතුළත් මෙලෙස ආචාර ධර්ම උල්ලංඝන කළ පළමු අවස්ථාව මෙයවීම හේතුවෙන් ඔහුට එක් ඍණ ලකුණක් ලබාදී ඇත.

ඔහු තරග තීරක ඉදිරියේ සිය වරද පිළිගැනීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකර බව ජගත් ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

මෙම තරගයේ පාකිස්තාන ඉනිමේ 39 වන පන්දුවාරයේදී ආගා ආන්දෝලනාත්මක ආකාරයෙන් දුවද්දී දැවී යාමකට ලක්විය. 

ඊට ඔහු සිය කෝපය ප්‍රකාශයට පත් කළේ, සිය අත් ආවරණ සහ හිස් ආවරණ බිමට පතිත කරමින්ය. 

පිටියේ විනිසුරුවන් වන ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක් සහ තන්වීර් අහමඩ්, තෙවන විනිසුරු කුමාර් ධර්මසේන සහ සිව්වන විනිසුරු මසුදූර් රහ්මාන් මුකුල් යන අය මෙම චෝදනාව ඉදිරිපත් කළහ.

පළමු වන මට්ටමේ උල්ලංඝනයන් සඳහා අවම වශයෙන් නිල අනතුරු ඇඟවීමක්, ක්‍රීඩකයෙකුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක උපරිම දඬුවමක් සහ ඍණ ලකුණක හෝ දෙකක් ලබා දෙනු ඇත.