2028 T20 ලෝක කුසලානයට කණ්ඩායම් 12ක් ඉඩ වෙන්කරගෙන
February 19, 2026 05:39 pm
ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සම සත්කාරකත්වය යටතේ එළැඹෙන 2028 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 12ක් මේ වනවිට සිය ස්ථාන වෙන්කරගෙන අවසන් බව ICCය නිල වශයෙන් නිවේදනය කළේය.
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් සංඛ්‍යාව තීරණයවීමත් සමග මෙම සුදුසුකම් ලැබීම තීරණය විය.
සම සත්කාරකත්වය දරන ඔස්ට්‍රේලියාවේ හා නවසීලන්තය නිතරගයෙන් සිය ස්ථාන වෙන්කරගෙන සිටී.
ඊට අමතරව සුපිරි 8 වටයට තේරීපත්වූ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ හා බ.ඉ. කොදෙව්වන්ද 2028 ලෝක කුසලාන වරම් හිමිවිය.
එමෙන්ම තවත් කණ්ඩායම් 3ක් ශ්‍රේණිගත කිරීම්වලින් තෝරගැනීමට නියමිතය.
එම අවස්ථාව මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන දිනට ( මාර්තු 9) පසු ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 3ට හිමිවේ.
ඒ අනුව බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය දැනටමත් ශ්‍රේණිගතකිරීම් ඉදිරියෙන් සිටී.
ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන කාලය තුළ කිසිදු ජාත්‍යන්තර තරගාවලියක් නොමැති හෙයින් ඔවුන්ගේ ස්ථානයට බලපෑමක් නොමැත.
2028 ලෝක කුසලාන තරගාවලියද කණ්ඩායම් 20කින් යුතුව පැවැත්වෙන අතර, ඒ අනුව සෙසු කණ්ඩායම් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරග හරහා තෝරාගැනීමට නියමිතය.
