පවතින ගෑස් හිඟයට කඩිනම් විසඳුම් දෙන්න -නාමල්
February 19, 2026 08:22 pm
පවතින ගෑස් හිඟයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා සඳහන් කළේ, මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගෑස් හිඟයක් ඇතිවී ඇති බවට වාර්තා වන බවය.
මෙයට කඩිනම් විසඳුමක් ලෙස හම්බන්තොට වරාය ආර්ථික කලාපයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් දේශීය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය සමයේ නිසි වේලාවට තීන්දු තීරණ නොගැනීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්වූ බවද නාමල් රාජපක්ෂ අවධාරණය කළේය.
හම්බන්තොට ගෑස් පර්යන්තය මඟින් දැනට ගෑස් ප්‍රතිඅපනයනය සිදුකරන නමුත්, වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම ප්‍රතිපත්තිය තාවකාලිකව වෙනස් කර දේශීය වෙළෙඳපොළට ගෑස් නිකුත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
