සයුරෙන් එතෙර
අඩි 200ක් පොළොව අභ්‍යන්තරයට යන බංකර් බස්ටර් බෝම්බ
June 22, 2025 08:01 pm
ඊශ්‍රායල - ඉරාන යුද්ධය ආරම්භ වී අදට (22) දින 10කි.
මෙම යුද ගැටුමට මැදිහත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට තවත් සති දෙකක කාලයක් ලබාගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (20) ප්‍රකාශ කර තිබූ පසුබිමක අමෙරිකාවත් ඊයේ (21) එයට සෘජුවම සම්බන්ධ විය.
ඒ අනුව අමෙරිකාව තමන් සතුව පමණක් ඇති ලොව ප්‍රබලම ප්‍රහාරක ගුවන්යානා වන B-2 යානා යොදාගෙන ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළේය.
ඒ , ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලටය.
මෙම ප්‍රහාරයට යොදා ගැනුණු අමෙරිකානු B-2 ප්‍රහාරක යානා ඊයේ දිනය වනවිට අමෙරිකානු දූපතක් වන ගුවාම් වෙත ගෙන ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ අනුව මෙම යානා යොදාගෙන ඉරානයට ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට විශේලේෂකයින් අනුමාන කර තිබියදී, අමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබුවේය.
නියමුවන් දෙදෙනෙකුට එකවර ගමන් කළ හැකි B-2 යානාවලට ගුවන් යානා නාශක රේඩාර් පද්ධතිවලට නිරීක්ෂනය නොවී රහසිගතව පියාසර කිරීමේ හැකියාව පවතී.
මෙවැනි B-2 යානා 21ක් පමණ අමෙරිකානු ගුවන් හමුදාව සතු වන බව වාර්තා වේ.
විශේෂත්වය වෙන්නේ ''බංකර් බස්ටර්'' බෝම්බ රැගෙන ගොස් පහරදීමට හැකි එකම යානා විශේෂය මෙය වීමය.
''බංකර් බස්ටර්'' බෝම්බ යනු , අඩි 200ක් පමණ පොළොව අභ්‍යන්තරයට ගමන් කර භූගත ඉලක්ක විනාශ කළ හැකි බෝම්බ විශේෂයකි.
එය ලොව ඇති විශාලතම ‘බංකර් විනාශ කළ හැකි බෝම්බය’යි.
එහි බර කිලෝග්‍රෑම් 13,600 පමණ වේ.
GPS තාක්ෂණයෙන්ද සන්නද්ධ වන මෙම බෝම්බයට කොන්ක්‍රීට් මතුපිටක් වුවද හරහා යමින් අඩි 200ක් පමණ ගැඹුරක පිහිටි බංකර් විනාශ කිරීමේ හැකියාව පවතින බව ආරක්ෂක විශ්ලේෂකයින් පවසයි.