ශූරයන්ගේ කුසලානයේ ජයග්‍රාහකයන්ට අතිදැවැන්ත මුදලක්
February 14, 2025 03:04 pm
වසර 8කට පසු පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් අතිවිශාල මුදල් ත්‍යාගයක් ලබාදීමට ICCය කටයුතු යොදා ඇත.
ඒ අනුව මෙවර තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.24ක මුදලක් වෙන්කර ඇත.
මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් කෝටි 65කට අධිකය.
එමෙන්ම සමස්ත තරගාවලියේ එක් එක් අදියරයන් වෙනුවෙන්ද ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක් වෙන්කර ඇත.
මෙම මුදල රුපියල් කෝටි 203කට අධිකය.
ඒ අනුව මෙය වසර 8කට පෙර එංගලන්තයේදී පැවැත් වූ ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී වෙන්කළ මුදලට වඩා 53%කට වැඩි අගයක් බව වාර්තා වේ.
අනුශූරයන් සඳහා ඩොලර් මිලියන 1.12ක මුදලක් වෙන්කර ඇත.
මීට අමතරව අවසන් පූර්ව වටයේදී පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් 560,000 බැගින් ප්රදානය කෙරේ.
කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වේ.
ඒ සෑම කාණ්ඩයකම තරග ජයග්‍රහණයක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 34,000ක මුදලක් හිමිවේ.
එමෙන්ම 5වන සහ 6වන ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් සඳහා අ.ඩො. 350,000 බැගින් ලබාදේ.
තවද 7,8 ස්ථාන ලබා ගන්නා කණ්ඩායම්වලට අ.ඩො. 140,000 බැගින් වෙන්කර ඇත.
ඊට අමතරව මෙවර ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලබන සෑම කණ්ඩායමකටම (කණ්ඩායම් 8) අ.ඩො. 125,000 බැගින් ලබාදීමටද කටයුතු යොදා තිබේ.
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 19වනදා ආරම්භවීමට නියමිතව ඇත.