පෙරළියක් කරන්න අලියා නැවත කරළියට

පෙරළියක් කරන්න අලියා නැවත කරළියට

February 15, 2025   04:24 pm

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මහ නගර සභා කිහිපයක් සඳහා "අලියා" ලකුණ යටතේ තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ඊයේ (14) රැස්වූ කෘත්‍යාධිකාරී රැස්වීමේදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එහි නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙහිදී නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද කරුණු සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී මහනගර සභා 04ක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ "අලියා" ලකුණ යටතේ තරග කිරීමට යෝජනා වී ඇත.

එම යෝජනාවට බහුතරයකගේ එකඟතාව හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, සහ නුවරඑළිය යන මහනගර සභා සඳහා "අලියා" ලකුණින් තරග කිරීමට ඔවුන් තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසි සහගත මහනගර සභා 04ක් වන මෙම මහනගර සභාවල බලය තමන්ට හිමිකර ගත හැකි බව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් එහිදී පවසා තිබේ.

කෙසේ වෙතත් සෙසු පළාත් පාලන ආයතන සඳහා තරග කිරීම අනෙකුත් දේශපාලන පක්ෂ සමග සන්ධානගතව තරග කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබේ.

ඒ අනුව වෙනම ලකුණකින් තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එළැඹෙන 20 වැනිදාට ප්‍රථම ඊට අදාළ අවසන් තීරණයක් ගැනීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් තීරණය කර ඇත.

මේ අතර මේ වනවිටත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ආරම්භ වී ඇති අතර සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබේ.