සයුරෙන් එතෙර
කමලා හැරිස් ගේ බලාපොරොත්තුව
August 30, 2024 03:40 pm
එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සුප්‍රකට "වෝල් ස්ට්‍රීට් ජර්නල්" පුවත්පත පැවැත්වූ නවතම ජනමත සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇත්තේ ඩිමොක්රටික් අපේක්ෂිකා කමලා හැරිස් තියුණු අන්දමින් හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වඩා ඉදිරියෙන් සිටින බවයි.
එම ජනමත සමීක්ෂණයට අනුව කමලා හැරිස්ට 48%ක ජන ප්‍රසාදයක් හිමිවෙද්දී හිටපු ජනපති ට්‍රම්ප්ට ලැබී තිබෙන්නේ 47%ක ජනතා කැමැත්තකි.
කෙසේ නමුත් මෙම අගය 2.5%කින් ඕනෑම දිශාවකට දෝලනය විය හැකි බව වෝල් ස්ට්‍රීට් ජර්නල් සමීක්ෂකයන් ප්‍රකාශ කරයි.
ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලෝකයේ සියලුම කලාපයන්ට භූ දේශපාලනික බලපෑමක් ඇතිකරන බව ප්‍රතිඵලයක් වෙතැයි විචාරකයෝ පවසති.
පසුගිය ජූලි 21 වනදා ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂත්වයෙන් ඉවත්වනතුරු ජනාධිපතිවරණ සටනේ පැහැදිලිවම ඉදිරියෙන් සිටියේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.
81 හැවිරිදි ජනාධිපති බයිඩන් වෙනුවට ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය ලැබූ උප ජනාධිපති 59 හැවිරිදි කමලා හැරිස් අමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වීමේ අපේක්ෂාවෙන් තරග වදින්නීය.
ඒ වගේම ඉන්දීය සම්භවයක් සහිත කමලා හැරිස් අමෙරිකාවේ මීළඟ ජනාධිපතිධුරයට පත්වුවහොත් තවත් වාර්තා රැසක් ඇය විසින් පිහිටුවනු ලබයි.
අමෙරිකානු ජනාධිපතිධුරයට පත්වන ආසියානු සම්භවයක් සහිත පළමු පුද්ගලයා වීම එවැනි එක් වාර්තාවකි.
කමලා හැරිස් අමෙරිකානු ජනාධිපතිධුරයට පත්වුවහොත් ඇය කොයි ආකාරයේ ප්‍රතිපත්ති අනුගමනය කරාවි ද යන්න ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වන කරුණකි.
කමලා හැරිස් CNN ප්රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වීමත් සමග ඒ ගැන යම් අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාවක් ඊයේ උදාවුණි.
ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය හිමිකර ගැනීමෙන් පසු ඇය සහභාගී වූ පළමු සම්මුඛ සාකච්ඡාව වූ එය මෙහෙය වූයේ CNN ප්‍රවීණ නිවේදිකා ඩානා බෑෂ් විසිනි.
එම සම්මුඛ සාකච්ඡාවේදී කමලා හැරිස් උත්සාහ කළේ අමෙරිකානුවන් ට බලපාන සංවේදී විෂයයන් පිළිබඳව තමන්ට විසඳුම් ඇති බව පෙන්වා දීමට ය.
හිටපු ජනපති ට්‍රම්ප්ගේ සමයේදී අමෙරිකාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කළා සේම ජනපති ජෝ බයිඩන් ද ඊට බොහෝදුරට සමාන සංක්‍රමණික ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පැවසිය හැකි ය.
CNN සම්මුඛ සාකච්ඡාවේදී කමලා හැරිස් ප්‍රකාශ කළේ තමන් බලයට පැමිණිය හොත් පරිපූර්ණ දේශසීමා ආරක්ෂණ නීති පද්ධතියක් හඳුන්වා දෙන බවයි.
එමගින් අමෙරිකාව තුළට නීතිවිරෝධී ලෙස ඇතුළුවීම දුෂ්කර වනු ඇති බවත්, දේශසීමා හුවමාරුවල දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇය සඳහන් කළාය.
ඊශ්‍රායල - හමාස් යුද්ධය සම්බන්ධයෙන් ජනපති ජෝ බයිඩන් ගේ ප්‍රතිපත්තිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව කමලා හැරිස් ප්‍රකාශ කළේ, එම ප්‍රතිපත්තියේ වෙනසක් අපේක්ෂා කරන ඇතැම් ඩිමොක්රටික් පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු බිඳ දමමිනි.
ගාසා තීරයේ පලස්තීන මරණ සංඛ්‍යාව 40,600 ඉක්මවූවත්, ඊශ්‍රායලය වෙත අමෙරිකානු ආයුධ තහනමක් පැනවීමට අදහස් නොකරන බව කමලා හැරිස් අවධාරණය කළාය.