අපේක්ෂා රෝහලේ අපේක්ෂාවන් ඉටුවෙයි-පෙට් ස්කෑනර් යන්ත්‍රය ශ්‍රී ලංකාවට

අපේක්ෂා රෝහලේ අපේක්ෂාවන් ඉටුවෙයි-පෙට් ස්කෑනර් යන්ත්‍රය ශ්‍රී ලංකාවට

January 24, 2018   04:53 pm



මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කිරීමට නියමිත පෙට් ස්කෑනර් යන්ත්‍රය ගුවන් මඟින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
 
රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ “සීමන්ස්” වෙළෙඳ සමාගමෙන් මෙම යන්ත්‍රය මිල දී ගෙන ඇත. 

මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය. 

මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපෙක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.
 
“කදීජා” පදනමේ සභාපති එම්.එස්.එච් මොහොමඩ් මහතාගේ සහ දෙරණ මාධ්‍ය ජාලයේ මැදිහත්වීම මත මෙම මුදල මහජන ආධාර වශයෙන් එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලදී. 

ඉන් පසු ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්වීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ජර්මනියේ “සීමන්ස්” ආයතනයෙන් යන්ත්‍රය ගෙන්වීමට පියවර ගන්නා ලදී.