යෝෂිතට රස්සාවත් නෑ-ඇපත් නෑ
February 29, 2016 11:19 am
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ ප්‍රතිශෝධන පෙත්සම අද (29)කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයා අධිකරණය හමුවේ පවසා සිටියේ යෝෂිත රාජපක්ෂ මහතා රිමාන්ඩ් බාරයට පත්කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගය ඇප පනතේ විධිවිධානවලට පටහැණි බවයි.
ඒ නිසා තවදුරටත් තම සේවාදායකයා රිමාන්ඩ් බාරයේ තබාගැනීමට නීතිමය හැකියාවක් නොමැති බවත්, ඒ අනුව අදාළ පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තෙක් ඇපමත නිදහස් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයා මෙහිදී ඉල්ලා සිටියේය.
එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය ඇප පනතේ විධිවිධාන වලට පටහැණි නොවන බවයි.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා නියෝගය ලබාදෙමින් කියා සිටියේ මුදල් විශුද්ධිකරණ පනත හා පොදු දේපළ පනත යටතේ මොහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පමුණුවා ඇති බැවින් එය ඇප පනතේ විධිවිධාන වලට අදාළ නොවන බවයි.
එබැවින් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා අදාළ පෙත්සම් විභාගය මාර්තු මස 08 වන දින පවත්වන බව විනිසුරුවරයා මෙහිදී සඳහන් කළේය.
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යායුතු බැවින් සේවය අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව ඔහුගේ සේවය අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ.
ඒ අනුව 2016 පෙබරවාරි මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා සේවය අත්හිටුවා ඇති අතර ඔහුගේ වැටුප් හා දීමනාද වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා තිබේ.